Language Switcher

V2025

ගල් අඟුරු ගෙන්වීමෙන් ලක්ෂ 17,000 ක් කොල්ලකෑමේ වෑයමක්

ගල් අඟුරු ගෙන්වීමෙන් ලක්ෂ 17,000 ක් කොල්ලකෑමේ වෑයමක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින්  අනාවරණය කර සිටියි.

මන්ත්‍රීවරයා මේ අනාවරණය සිදුකරන්නේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
නලින් බණ්ඩාරගේ චෝදනාව ! 

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉතාම බලගතු චෝදනාවක් විදුලිබල මණ්ඩලයටත්, ලංකා ගල් අඟුරු සමාගමටත්, විදුලි බල අමාත්‍යාංශයටත් එල්ල කළා. ඒ තමයි වැඩි මිළට නැවතත් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සිදුවෙන බව. අපි දන්නවා මේ සෙල්ලම මේ ගල් අඟුරු බලාගාරය ආරම්භ කළ දවසේ සිට සිදුවෙමින් පැවතුණ ක්‍රියාදාමයක් බව. පුත්තලමේ ගල් අඟුරු බලාගාරයේ පළමු පියවර වෙච්ච 300MW වැඩ කරන්න පටන් ගත්තෙ 2010 වර්ෂයේ මැද භාගයේ සිට. 2013 වර්ෂයේ සිට තවත් 600MW ක් බල පද්ධතියට එකතු වුණා.

ඒ බල පද්ධතියට එකතුවීමත් එක්ක අපි දන්නවා ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් පමණ අවශ්‍යයි රටට විදුලිය උත්පාදනය කරන්න වර්ශයකට. දැන් මේ බලාගාර ක්‍රියාත්මක වෙලා අවුරුදු 10 කට කිට්ටුයි. මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ අකාරයට නිවැරදිව ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා විධික්‍රම හඳුන්වා දී තිබෙනවා. උදාහරණයක් හැටියට මා බලශක්ති ඇමතිව සිටි කාලයේ 2015 දී වසර තුනකට වරක් ගෙන්වන අඛණ්ඩ ගල් අඟුරු සැපයුම පිළිබඳ (Term Tender) විධිමත් භාවයක් ඇතිකළා පමණක් නෙවෙයි, හදිසි තත්ත්වයක් යටතේදී වංචා සිදුවීම වැළැක්වීම සඳහාත්, හදිසි මිලදී ගැනීම් සඳහාත් ක්‍රියාදාමයක් හඳුන්වලා දුන්නා. ඒ මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට පහසු ආකාරයට, ලාභදායී ආකාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනයට ක්‍රියාමාර්ග ඇති කරල තියෙනවා. 
 
පරණ සෙල්ලම යළිත් !

ඒ වගේම විගණකාධිපතිවරයා විසින් 2009 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී සිදුවෙච්ච අක්‍රමිකතා පිළිබඳ විධිමත් වාර්තාවක් සකස් කරල ඒ විධිමත් වාර්තාව මත යම් යම් නිර්දේශ නිගමන ලබාදීල තියෙනවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ පරණ සෙල්ලමමයි.  

2008 දී පළමුව මේ බලාගාරය 2010 දී ආරම්භ වෙනවාය කියන පදනම මත පළමු ටෙන්ඩරය ආරම්භ කළා. ඒ ටෙන්ඩරය 2009 දී අවලංගු කරල නැවත කැඳවනු ලැබුවා. එම ටෙන්ඩරය ප්‍රදානය කරපු Noble Resources සමාගමට එය ලබාදීම සඳහා ඉතාමත්ම වැරදි ආකාරයට කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ බවත්, ඒ වගේම එම ක්‍රියාවලිය පිටුපස නිලධාරීන්, ඉහළම ගණයේ දේශපාලකයින් සිටිය බවත් ඉතාම පැහැදිළියි. ඒ සම්බන්ධයෙන් මම කෘතියක් ලියල තියෙනවා ‘බලය සහ බලය’ නමින්. මෙම ටෙන්ඩරයෙ නියම ජයග්‍රාහකයාට එය ලබානොදී සිටීමට අනුගමනය කරපු තාක්ෂණික මංකොල්ලය පිළිබඳව මා එහි සඳහන් කරලා තියෙනවා.

අවුරුදු තුන පිරුණට පස්සෙ නැවත ටෙන්ඩරයක් කැඳවීමට 2013 දි එවකට හිටිය ඇමතිනිය ක්‍රියාකළා. නමුත් එයත් අර විදියටම අබාධසහගත තත්ත්වය පත් කරල නොයෙක් ආකාරයේ කොන්දේසි පනවල පරණ ටෙන්ඩර්කරුටම එනම්, Noble Resources සමාගමට ම ලබාදුන්නා. 2014 දි තවත් වතාවක් මෙය ආරම්භ කළා. එය මා අමාත්‍ය ධුරය දරන අවස්ථාවේදීත් පැවතුනා. එ් අවස්ථාවේදී යම් යම් වංචනික ආකාරයට ක්‍රියාදාමයන් සිදුකරන්න ගිය නිසා තමයි මට සිද්ධ වුණේ ඒ අවස්ථාවේදී ක්ෂණික මිලදී ගැනීම් (spot tenders) හඳුන්වල දෙන්න ගල් අඟුරු බලාගාරයේ හිඟයක් ඇතිවීම වැළැක්වීමට. මොකද හැම වෙලාවෙම මේ වංචනිකයින් සිදු කරන්නේ ගල් අඟුරු හිඟයක් ඇතිවෙනවා, විදුලිබල කප්පාදුවක් ඇතිවෙනවා, ඒ නිසා අපි වැඩිමිලට හෝ පැරණි ටෙන්ඩර්කරුගෙන්ම හෝ ගම්මු කියන අදහස, මතය ඉදිරිපත් කිරීමයි සිද්ධ කරන්නේ. ඒ ක්‍රියාදාමය 2008 ඉඳන් මේ දක්වාම අඛණ්ඩවම සිදුකරගෙන ඇවිල්ල තියෙනවා.  
 
අමාත්‍ය ධුරය නැති කරපු හේතුව !

එය බිඳ දැමීමට මා දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට මට ඒ අමාත්‍ය ධුරය නැතිවුණා. මොකද ක්ෂණික මිලදීගැනීමක් කියල 2012 වර්ෂයේදී අපටත් නොදන්වා ගල් අඟුරු නැව් 05 ක් ගෙනාවා. ටෝරියන් කියන සමාගම විසින්. ඒ ටෝරියන් කියන සමාගමට ගෙන්වපු නැව්වලට ගෙවිය යුතු රුපියල් මිලියන 6 ක මුදල, ඒවා නිසි ප්‍රමිතියෙන් නොතිබුණු නිසා මා විසින් වැළැක්වීම ප්‍රධාන හේතුව වුණා ඒ අවස්ථාවේදී අමාත්‍ය ධුරය මට අහිමි කිරීමට. ඒ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට මට ඉඩ ලබාදුන්නෙම නෑ අවසන් වසර දෙකේදි, මොකද පළමු වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉතිහාසයේ වසර  15 කට පසු ලාභ උපයන ආයතනයක් බවට පරිවර්ථනය වීම දරාගත නොහැකි නිලධාරී මාෆියා කල්ලියක් විසින් තමයි ඒක කළේ.

කෙසේ නමුත් අපි දන්නවා ඒ ටෝරියන්  සල්ලි වලින් තමයි ඔය ඇතැම්මු චන්ද්‍රිකා යැව්වයි කියල උදම් අනන්නෙ. ඒ පිළිබඳව නිසි විමර්ශනයක් තාමත් සිදු කරල නෑ අපි ස්ථාන ගණනාවකට පැමිණිලි කළා. ඒ වගේම අඛණ්ඩව එක දිගට මේ සමාගමක් මේක කරගෙන යාම පිටිපස්සෙ අපට දැන් වාර්තා ලැබිල තියෙනවා 2014 වර්ෂයේදී මේ රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් මිලදී ගැනීම සඳහා ඇතැම් අය ගිවිසුම් අත්සන් කළා කියල. ඒ සඳහා මේ ගල් අඟුරු ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද බිලියන ගණනක් වෙච්ච ඒ මංකොල්ලකාරී ධනය භාවිතා වෙන්න ඉඩ තිබුණාය කියන ප්‍රශ්නය තිබුණා. මේ නිසා මා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැනුම්දීල මේ පිලිබඳ ජනාධිපති කොමිසමක් ඇති කළා. ඒ කොමිසම ඉදිරියට මම ගියා. නමුත් මේ රටේ මංකොල්ලකාරයින් විසින් මේ ගල් අඟුරු වංචාවට අපේ නමත් ගාවමින් ඉතාමත් නින්දිත ප්‍රචාරයක් 2015 මැතිවරණයේදී ගෙනගියා.

අන්තිමේදී සිද්ධ වුණේ මොකක්ද, ඒ අල්ලස් දූෂණ කොමිසමත් ජනාධිපති කොමිසමත්, විශේෂඥ සාක්ෂිකරුවෙක් ලෙස මාව කැඳෙව්වා.මම ගිහින් ඒ සාක්ෂි ලබාදුන්න. නමුත් අල්ලස් දූෂණ කොමිසමේ නිලධාරීන් මා වෙත ප්‍රකාශ කළා මේ නඩුව නැවතත් මුල සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවය කියල, ඒ කියන්නෙ මේ නඩුව කවදාවත් මේ දූෂකයන්ට විරුද්ධව ඇහෙන්නෙ නෑ. ඒ නිසා මගේ කාලය නාස්ති කරන්න එපා කියල මම අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කියල ආපසු ආවා. 
 
ටොන් 1 ට ඩොලර් 90ක් !

දැන් නැවත සෙල්ලම පටන් අරන්. විධිමත් ප්‍රසම්පාදනය ක්‍රියාවලියක් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵල හැටියට දැන් නැවත වතාවක් පටන් අරන් තියෙනවා ක්ෂණික මිලදීගැනීම්. එහි වරදක් නෑ එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාධා එල්ලවෙලා තියෙනවනම්. නමුත් දැන් වෙලා තියෙන්නෙ මොකක්ද එක ක්ෂණික මිලදී ගැනීම් අවස්ථාවක ඩොලර් 59 කට පමණ ලබාගත් ගල් අඟුරු ටොන් 01 දැන් ඩොලර් 90 කට ලබාගන්න යනවා. ඒ මොකද මීට වඩා අඩුවෙන් ගල් අඟුරු මේ වෙලාවෙ ලබාගන්න නොහැකිය කියන මතය එක්ක.

සමහර සීත කාලවලදී ඉන්දන මිල ඉහළයාමක් තියෙනවා සීත රටවල පවතින තත්ත්වය නිසා. නමුත් දැන් මුළු ලෝකය පුරාම ඉන්දන වලට තිබෙන ඉල්ලුම සීග්‍රයෙන් අඩුවෙලා තියෙනවා මේ කෝවිඩ් වසංගතය නිසා. ඒ නිසා ගල් අඟුරු මිළත්, තෙල් මිළත් පාලිත තත්ත්වයකයි තියෙන්නෙ. ගල් අඟුරු මිල ගත්තොත් ඩොලර් 50 – 60 ත් අතර පාලිත තත්ත්වයකයි තියෙන්නෙ. විශේෂ ස්ථාන කිහිපයක, උදාහරණයක් හැටියට චීනය හා ඕස්ට්‍රේලියාව අතර ඇතිවෙලා තියෙන වෙළෙඳ යුද්ධය නිසා මතුවෙලා තියෙන කාරණා හැරුණුකොට අනෙක් ස්ථානවල සාමාන්‍ය තත්ත්වය මේකයි.

දැන් ඒ අනුව ස්වික් ඉන්ටර්නැෂනල් කියන ආයතනයට ස්වික් AG කියන ආයතනයට මේ ගල් අඟුරු ටෙන්ඩරය ලබාදෙන්න යනවා ඩොලර් 90 කට ටොන් 01 බැගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිටත. මෙයින් අදහස් වෙන්නේ මොකක්ද ? මීට ආසන්නයෙන් ගෙනාපු ගල් අඟුරු තොගය ඩොලර් 60 කට ගේනකොට මේ ගල් අඟුරු තොගය ඩොලර් 90 කට ගේනකොට හැම ටොන් එකකින්ම ඩොලර් 30 ක් රටට, විදුලිබල මණ්ඩලයට පාඩු කරමින් තමයි මෙය සිදුවන්නේ. මේ මඟින් සිදුවන සමස්ථ පාඩුව කොච්චර ද ? ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් ගේන්න යනවා. ඒ අනුව සමස්ත පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,800 ක් පමණ වෙනවා. මේ පාඩුවේ එක කොනක් පමණයි.

මෙයින් පෙනී යන්නේ කුමක්ද ? නැවත වතාවක් විදුලිබල මන්ඩලයට ගල් අඟුරු මාෆියාවේ සෙවණැලි වැටෙමින් තිබෙන බවයි. විදුලිබල මණ්ඩලයට කලින් අරක්ගෙන හිටපු බලගතු නිලධාරීන් අද වෙනත් පදවිවලට පත්වෙලා මේ පසුපස සිටින බව ඉතාම පැහැදිළියි.මේ මණ්ඩලයේ සිටින ඇතැම් නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ පසුපස සිටින බව පැහැදිළියි.

මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අමාත්‍යවරයා හෝ ලේකම්වරිය හෝ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිස යම් ආකාරයකට මේකට සම්බන්ධදැයි කියන්න අපි දන්නෙ නෑ, නමුත් නිශ්චිත විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. මේ ක්‍රීඩාව නැවත පටන් අරන් තියෙනවා මේ බාල සෙල්ලම මේ රටේ ගල් අඟුරු යොදාගෙන විදුලිබල මණ්ඩලය ප්‍රාණ ඇපයට අරගෙන. අද වෙනෙකොට විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා වැටුප් පිළිබඳව. වසර තුනකට වරක් ලැබෙන වර්ධකයත්,ඉංජිනේරුන්ගේ වැටුප් ශ්‍රේණි සම්බන්ධයෙන්. නැවත වතාවක් රට විදුලිබල අර්බුදයකට යවල ධනය මංකොල්ල කෑමක නිරතවෙන බවනම් පැහැදිළියි.
 
සීනි බදු  කොල්ලය !

පසුගියදා රුපියල් 50 කින් මාස තුනකට සීනිවලට පනවපු ඒ බද්ද  ඉවත් කරල අපි දන්නවා කාපු කොල්ලය. ඒක දැන් තවත් මාස තුනකට කල් යවල තියෙනවා. හරියටම රුපියල් දශලක්ෂ දහදාහකට අධික ප්‍රමාණයක් මේ මාස තුනේදී කොල්ල කන්නට ඉඩදීල තියෙනවා ගජ මිතුරු කල්ලිවලට. මේ ගජ මිතුරු කල්ලි කියල ඒ පුද්ගලයින්ට ගැරහුවට ඇත්තටම ඒ අයගේ ධනය යන්නෙ කා අතට ද කියන එක මේ රටම දන්නවා. පොල්තෙල් වලට පනවා තිබූ කිලෝග්රෑම් 01 කට රුපියල් 150 ක බද්ධ ඉවත් කිරීම මගින් කවුද හම්බුකරගත්තෙ කියන එක රටම දන්නවා. ඒ වගේම සිගරට් මිළ ඉහළ යන බවට වෙච්ච ඒ ක්‍රියාවලියත් එක්ක ලංකා බැකුවට සිදුකරපු ඒ වංචාව කවුරුත් දන්නවා. අද මේව තමයි මේ රටේ දිනෙන් දින සිදුවෙමින් තියෙන්නේ. 
 
  වැලි, පස්, කළුගල්, වනාන්තර කොල්ලකෑම  !

අද හැම තැනම පොළවේ වැලි, පස්, කළුගල්, වනාන්තර කොල්ලකෑම ආදී වශයෙන් මුළු රටම අද සූරා කෑමේ තරඟකාරී කොල්ලයක නියැලිලා ඉන්නවා. රට වැඩබිමක් කරන්නට, රටට සමෘද්ධිය ගේන්නට, රටට සෞභාග්‍යයේ දැක්ම ගෙන එන්නට පැමිණි අය අද ඉතාම කඩිනමින් මහ සාගතයකට හසුවූ අය වගේ රට කොල්ල කමින් ඉන්නවා. හැබැයි අපි අමතක නොකළ යුතු සත්‍ය තමයි අවුරුදු 70 කට පස්සෙ, අපි ණය ගත්ත, ගත්ත ණය ගෙවන්නත් ණය ගත්ත, ඒ වගේම ඒ ණය නියමිත දිනයට පියෙව්ව. නමුත් අපි ඉතිහාසයේ පලවෙනි වතාවට අපිට ණය ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ගත්තු ණය පියවාගන්න නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. රට බංකොලොත්වීමේ මුවවිටට පැමිණ තිබෙනවා. නමුත් මේ කෑදර කොල්ලකාරයො ටිකට නම් ඒ ගැන කිසිම අදහසක් නෑ, ජනතාවට රටට වෙන්න යන විපත පිළිබඳව රටේ ආර්ථිකයට වෙන්න යන විපත පිළිබඳව කිසිම අදහසකින් තොරව නැවත නැවතත් ගල් අඟුරු තෙල් ආදී සියල්ලෙන්ම මේ මංකොල්ලය කරගෙන යනවා.

කෝප් සභාවේ මා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු හැටියට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පිළිගත්තා 2020 වර්ෂයේදී ලංකාවට පෙට්‍රල් ලීටරයක් ගෙනාවේ රුපියල් 56 ට. විකිණුවේ 137 ට කියල. මේක මං නිරන්තරයෙන්ම කියපු දෙයක්. දැන් ඒ අයගේ කටින්ම කෝප් සභාවෙදි පිළිගත්ත. 
 
  සැනිටයිසර්, පීසීආර්, ඇන්ටිජන්  !

මේ ආකාරයට සෑම ක්ෂේත්‍රයකම, කහට කෝප්පයේ සීනි මගින්, පපඩමක් බැඳුමක් හදාගන්න තියෙන පොල්තෙල් ටිකෙන්, නිරෝධානයයෙන්, මාස්ක් එකෙන්, අද ඇත්තටම මාස්ක් අතිවිශාල තොග ගණනක් බාල වර්ගයෙන් ගෙනත් අද දැවැන්ත ව්‍යාපාරයක් බවට මේ ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් පත්කරගෙන තියෙනවා. සැනිටයිසර්, පීසීආර්, ඇන්ටිජන් පරීක්ෂාව වැනි හැම ක්ෂේත්‍රයකම කොල්ලකෑම සිදුවෙනවා. ගල් අඟුරු කොල්ලයත් එහි කොටසක්.

මේ පිළිබඳව ඉදිරි කාලයේ තවත් හෙළිදරව් කිරීමට අපි ලෑස්තියි. කවුද මේ පිටුපස ඉන්නෙ ? අපේ රටේ විදුලිබල පාරිභෝගිකයාගෙන් උදුරා ගන්න හදන මේ ක්‍රියාවලිය හෙළිදරව් කිරීමට අපි ඉදිරියේදී තව දුරටත් කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕන.