ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැහැ !

ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැහැ !

"ප්‍රමිති ආයතනය භාරව ඉන්න ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා තාමත් විෂ පොල්තෙල් ගැන මොකුත්ම කීවේ නැහැ. ජනාධිපතිතුමා ෆේස්බුක්වල යන පුංචි පුංචි දේවල්වලටත් ප්‍රතිචාර දක්වන කෙනෙක්. නමුත් තාක්ෂණ අමාත්‍යාංශය හදලා ප්‍රමිති ආයතනය ඒ යටතට ගත්තාට පස්සේ වෙන වෙන ඇමතිවරු විවිධ ප්‍රකාශ කළත් ජනාධිපතිවරයා මේ දක්වා කිසිම දෙයක් කීව්වේ නැහැ." යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙසේ අදහස් දැක්වීය.

ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක විෂ අඩංගු බව හෙළවී තිබෙනවා. පිළිකා කාරක රසායනික, තුන්ගුණයක් පමණ අඩංගු පොල්තෙල් ගෙනත් තිබෙන බව දැන් තහවුරුවී තිබෙනවා. රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක ආහාර ලබාදීම, රටක ආණ්ඩුවක වගකිමක්. ආහාරවල ප්‍රමිතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සාධාරණ මිලකට ලබාදීම මේ අතරින් ප්‍රමුඛ කාර්යයක්. රජයේ ආයතන තියෙන්නේ ඒ වෙනුවෙන්. ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනය පිහිටුවා තිබෙනවා වගේම විෂයභාර ඇමතිවරුන් පත්කර තිබෙන්නේත් මේ වගකීම ඉටුකිරීමටයි.

පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන ඒමේ වගකිවයුත්තෙක් නැති තත්වයක් මතුවෙලා !

තමන් ලබාගන්නා භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කර බලන්න පාරිභෝගිකයාට අවස්ථාවක් නෑ. පාරිභෝගිකයා අදාළ තහවුරුව ලබාගන්නේ ප්‍රමිති ආයතනය හෝ අනිකුත් වගකිව යුතු ආයතනන ලබාදී තිබෙන සහතිකයෙන්. මේ වගවීම වරින්වර බරපතළ විදිහට ප්‍රශ්න කෙරෙනවා. යම් ප්‍රශ්නයක් පැනනගින මොහොතේදී ආණ්ඩුව, නිලධාරීන් මැදිහත්වී විවිධ ප්‍රකාශ කරනවා. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ගැන මාධ්‍ය සාකච්ඡාවලදී කියනවා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ ඊළඟ අවස්ථාවක් එනකම් සියල්ලම යට යනවා. කාලයක් තිස්සේ අපි අත්දකින්නේ මේ තත්වය. කිරිපිටිවල ප්‍රශ්නයක් එක වෙලාවකදී ආවා. දැන් කිරිපිටිවල විෂ කාරක තිබෙනවාද කියලා දන්නෙත් නැතිව මිනිස්සු පරිභෝජනය කරනවා. කල් ඉකුත් වූ සැමන් වෙළඳපොළට ඇවිත් ආසනික් තිබෙනවා කියලා ඊළඟට සොයා ගන්නවා. දැන් පොල්තෙල්. මිනිස්සු ලෙඩවුණාම ගන්න තියෙන බෙහෙතුත් කල් ඉකුත් වූ ඒවා බව හෙළිවී තිබෙනවා. මේවාට වගකියන්නේ කවුද? ප්‍රශ්නය තියෙන්නේ එතනයි.

පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන ඒමේ වගකිවයුත්තෙක් නැති තත්වයක් මතුවෙලා. මේ විදියට ගියොත් කඩවල්වල “වස විස නැති ආහාර” කියල බෝඩ් දාලා තියෙනවා වගේ හෙට අනිද්දාට “වස විස නැති පොල්තෙල්” කියලත් බෝඩ් දාන්න වෙයි. මිනිසුන්ගේ අතේ තිබෙන ගණන අනුව ගණන් වැඩි පිළිකාකාරක නැති පොල්තෙල් ගන්නවාද, මිල අඩු පිළිකාකාරක තිබෙන පොල්තෙල් ගන්නවාද කියලත් තීරණය කරන්න වෙයි. මේ නිසා ජනතාව වියට පත්වෙලා. මේ තත්වය තුළ ආණ්ඩුව හැසිරෙන්නේ දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියන ප්‍රතිපත්තිය අනුව. පොල්තෙල් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවුණ නිසා දැන් ඒ ගැන කතා කරනවා. හැබැයි ආණ්ඩුවේ ජාවාරම්කාර ගජමිත්‍රයෝ ටික එකතුවෙලා විස පොල්තෙල් ආනයනය කරලා නිදහසේ ජනතාවට නිකුත් කරන්න ඉඩකඩ හදල දීලා තිබෙනවා.

මිලියන 175ක විතර බදු වංචා කරන්න එක ව්‍යාපාරිකයෙකුට ඉඩ හදාදීලා !

පොල්තෙල්වලට රුපියල් 150/-ට තිබුණ බද්ද අවස්ථා කිහිපයකදීම අඩුකරලා මිලියන 175ක විතර බදු වංචා කරන්න එක ව්‍යාපාරිකයෙකුට ඉඩ හදාදීලා තිබුණා. පොල්තෙල් බදු වංචා කරන අතර විෂකාරක ඒවා ගෙනල්ලා ජනතාවට වස කවන තත්වයක් තියෙන්නේ. විෂකාරක පොල්තෙල් වෙළඳපොළට ඇවිල්ලා තිබෙනවාද නැද්ද කියලා පරීක්ෂණවලින් තහවුරු කරන්නත් කලින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ආණ්ඩුව වෙනුවෙන් කියන්නේ මේවා ප්‍රතිඅපනයනය කරනවා කියලා. මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කවුද, වෙළඳපොලට ගිහිල්ලද, හිඩැස තිබෙන්නේ කොතැනද කියලා හොයන්න ඕනෑ. මින් ඉදිරියට මෙවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව ජනතාවට සහතිකයක් දෙන්න ඕනෑ. එහෙම නැතිව ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරයක් නෙවෙයි. පොල්තෙල් ගෙන්වූ සමාගම්වල ගුදම්වලටම මෙම පොල්තෙල් නිදහස් කළේ ඇයි? පුද්ගලික සම්ගම්වල ගුදම්වලටම නිදහස් කළාට පස්සේ මොකද වෙන්නේ.

ඔවුන් හොර රහසේ මේවා වෙළඳපොළට නිදහස් කරන්නේ නැද්ද? මේවා වෙළඳපොළට නොයාවි කියලා රේගු නිලධාරීන්ට සහතික වීමක් නැහැ. පෞද්ගලික ගුදම් රේගු නිලධාරීන්ගේ වගකීමක් යටතේ තියෙන ඒවා නෙවෙයි. තීරු ගාස්තු ගෙවීමෙන් පසුවයි අදාළ සමාගම්වල ගුදම්වලට මේවා නිදහස් කරන්නේ. සීනි බදු වංචාවට සම්බන්ධ නුෂාඩ් පෙරේරා සතොසෙන් අයින්කරල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිකමට පත්කළාට පස්සේ ජාවාරම්කාර චෞර වළල්ලට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. නුෂාඩ් පෙරේරා මේ පුටුවේ වාඩිවුණාට පස්සේ පළවෙනි අවස්ථාව හැටියට පොල්තෙල් විෂ ප්‍රශ්නය ඇවිත් තිබෙනවා. විෂ පොල්තෙල් ගැන එළියට ආවේ ප්‍රමිති ආයතනයෙන් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයෙන්. පෞද්ගලික ගුදම්වලින් එළියට ගිය ඒවා ගැන පරීක්ෂණ කරන්නේ දැන්. සිංහල, හින්දු අලුත් අවුරුද්ද එන කොට ජනතාව කන්නේ මොන පොල්තෙල්ද කියන ප්‍රශ්නය තිබෙනවා.

සාම්පල් පරීක්ෂාවේ වාර්තා එන්න කලින් පෞද්ගලික ගුදම්වලට ගියේ කොහොමද?

මේ සාම්පල් පරීක්ෂාව ප්‍රමිති ආයතනයෙන් සිදුකරන්නේ මොන තත්වයන් යටතේද කියලා විශේෂයෙන් දැනගන්න ඕනෑ. සාම්පල් පරීක්ෂාවේ වාර්තා එන්න කලින් පෞද්ගලික ගුදම්වලට ගියේ කොහොමද? ආණ්ඩුව කියන විදිහට ලංකාවට ගෙන්වන අනෙකුත් ආහාර ද්‍රව්‍යවලත් මේ ප්‍රශ්නය තිබෙනවා. ජනතාව කල්පනා කරන්නේ රජයේ වගකීමක් තිබෙන ආයතනයක ප්‍රමිති සහතිකය සහිතව භාණ්ඩ ගත්තා කියලා. තමන් පරිහරණය කරන පොල්තෙල් ඇතුළු ආහාරවල තත්වය මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ.

රටේ ආණ්ඩුවක් ජනතාවට වගකියන්නේ නැතිවුණාට පස්සේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරු හොරු රැළ එක්ක හිටගත්තාට පස්සේ බදු සහන දෙන්නෙත් ඒ ගොල්ලන්ට. මේ නිසා සාම්ප්‍රදායික ලෙස පොල්තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ටත් බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ප්‍රමිති ආයතනය භාරව ඉන්න ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා තාමත් විෂ පොල්තෙල් ගැන මොකුත්ම කීවේ නැහැ. ජනාධිපතිතුමා ෆේස්බුක්වල යන පුංචි පුංචි දේවල්වලටත් ප්‍රතිචාර දක්වන කෙනෙක්. නමුත් තාක්ෂණ අමාත්‍යාංශය හදලා ප්‍රමිති ආයතනය ඒ යටතට ගත්තාට පස්සේ වෙන වෙන ඇමතිවරු විවිධ ප්‍රකාශ කළත් ජනාධිපතිවරයා මේ දක්වා කිසිම දෙයක් කීව්වේ නැහැ.

ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරය නොවෙයි !

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ජනතාවට කියන්න ඕනෑ. අපි විශ්වාස කරන විදිහට ප්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරය නොවෙයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කවුද කියලා නීත්‍යානුකූලව රට දැනගන්න ඕනෑ. පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙනඒමේ ක්‍රියාවලිය ගැන ආණ්ඩුවක් හැටියට වගකියන්නේ මොන ආකාරයටද. ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වන්න ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ක්‍රියාමාර්ග කොයිතරම් දුරට ජනතාවට පිළිගන්න පුළුවන්ද කියලා තහවුරු වෙන්නේ දැන් ගන්න ක්‍රියාමාර්ග අනුවයි. ප්‍රශ්නය මෙතැනින් එහාට ගෙනියන්නේ නැතිව ප්‍රතිඅපනයනයෙන් බේරෙන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. මීට කලිනුත් පිළිකාකාරක පොල්තෙල් ගෙනල්ලා ලංකාව තුළින් ලබාගන්නා හොඳ මට්ටමේ පොල්තෙල් පිටරට යවලා තියෙනවා කියලා හෙළිවෙනවා. ලංකාවේ ජනතාවට විතරක් නෙවෙයි කිසිම රටක ජනතාවකට පරිහරණය නොකර මේවා විනාශ කළ යුතුයි. රේගුවේ වගකීමක් වෙන්නේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසන එක. ඒ වගේම සමාජ ආරක්ෂණය පිළිබඳව වගකීමකුත් තිබෙනවා.

මේ නිසා අපේ රටේ දේශසීමාව ඇතුළට එන මත්ද්‍රව්‍ය, අවි ආයුධ මර්දනය ගැන විතරක් නොවෙයි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම නිලධාරීන්ගේ අතේ විතරක් නෙවෙයි ආණ්ඩුවටත් තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු ගණනාවක්ම ආරක්ෂාව දුන්නේ ජනතාවට නෙවෙයි. තමන්ගේ ගජමිතුරන්ට, තමන් වටේ ඉන්න හොරු රැළට ආරක්ෂාව සහ පහසුකම් දීමයි. පොල්තෙල් ජාවාරමෙන් තහවුරු වෙන්නෙත් ඒක. ඒ නිසා පවතින බරපතළකම ජනතාවට තේරුම් ගන්න කියලා අපි අවධාරණය කරනවා. ළඟ එන අවුරුදු සමයේ රටේ සෑම භාණ්ඩයකම මිල වැඩිවෙලා. පසුගිය අවුරුද්දේ කොරෝනා තත්වය නිසා අවුරුදු සමරන්න බැරි වුණා. මේ අවුරුද්දේ කොරෝනා ව්‍යාසනය විතරක් නෙවෙයි, ජීවන බරත් එක්ක පොල්තෙල් ටිකත් විෂ වුණාට පස්සේ ඇතිවී තිබෙන්නේ බරපතළ තත්වයක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් ඉටුකළ යුතු බරපතළ වගකීම ගැන අපි අවධාරණය කරනවා.

1 1

කටෙන් ගහලා පොල්තෙල්වල විෂ මකන්න බැහැ -  ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස 

බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර වැනි ඇමතිවරු ලවා ආණ්ඩුව වාචාල කතා කියලා සුපුරුදු පරිදි පොල්තෙල්වල අඩංගු රසායනයේ විෂ මකන්න, ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරන්න උත්සහයක් දරණවා. පොල් තෙල්වල අඩංගු ඇෆ්ලටොක්ෂීන් කියන්නේ පිළිකාකාරක විෂ විෂරසායනයක්. එය නිපදවෙන්නේ ඇස්පර්ජිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ජිලස් පැරසිටිකස් කියන දිලීරයක් මගින්. විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා ඇෆ්ලටොක්ෂීන් වර්ග කිහිපයක් බී1, බී2 සහ ජී1, ජී2 කියලා. බී1 කියන වර්ගය තමයි වඩා විෂ සහිත වන්නේ. මෙය අධික මාත්‍රාවක් ශරීරගත වුවහොත් ක්ෂණික මරණයක් ඇතිවිය හැකියි. ආහාර ද්‍රව්‍ය මගින් කාලයක් තිස්සේ මෙම විෂ ශරීරගත වෙන්න පුළුවන්කම තිබීම තමයි භයානක. මෙම ඇෆ්ලටොක්ෂීන් කියන්නේ අක්මාවේ පිළිකා ඇතිකරන්න පුළුවන් රසායනයක්. තවත් පැත්තකින් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ වගේම දරුවන්ට ශරීරගත වුවහොත් ඔවුන්ගේ වර්ධනයටත් බලපානවා.

මෙම ඇෆ්ලටොක්ෂීන් පොල්තෙල්වල පමණක් නෙවෙයි තවත් ආහාර වර්ග කිහිපයක අන්තර්ගත වෙන්න පුළුවන්. රටකජු, ඉඩඉරිඟු වගේ ආහාරවලට වඩා පොල්තෙල්වල තිබෙන විට දීර්ඝකාලීනව ශරීරගතවීමේ අවධානමක් තිබෙනවා. ඒ වගේම පොල්තෙල්වල මෙම විෂ තිබෙන්නේ 85%ක් ද්‍රාව්‍ය තත්වයේ. බන්දුල ගුණවර්ධන කියලා තිබුණා ජනතාව විෂ පොල්තෙල් ගැන පැමිණිලි කරලා නැහැ කියලා. වෙන්න පුළුවන්; මොකද ජනතාවට මේක පොල්තෙල්වල තිබෙන විට හඳුනාගන්න ක්‍රමයක් නැහැ. රටකජුවල අන්තර්ගත වෙනකොට ඒවායේ වර්ණය වෙනස්වීම් වෙනවා. නමුත් පොල්තෙල්වල හඳුනාගන්න බැහැ. ඒ වගේම ඇෆ්ලටොක්ෂීන් රත්කිරීමෙන් විනාශ වෙන්නේ නැහැ. තාපයට ප්‍රතිවිරෝධීයි.

ප්‍රමිති ආයතනය රටට කියන්න ඕන පසුගිය කාලයේ ආනයනය කළ පොල් තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කළාද කියලා ?

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙවැනි විෂ සහිත ආහාර ආනයනය පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් එකතුවෙලා අප වැනි රටවලට මෙවැනි විෂ ආහාර එවනවා. එයට හේතුව සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නීති නීති ලිහිල් වීමයි. මෙම ඇෆ්ලටොක්ෂීන් පිළිබඳ මුලින්ම හෙළිදරව් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පර්යේෂණ ඒකකයයි. එම ආයතනය නිරීක්ෂණය කරන්නේ ආහාර කිලෝග්‍රෑම් එකකට ඇෆ්ලටොක්ෂීන් මයික්‍රෝ ග්‍රෑම් 30කට වඩා වැඩි ආහාර ද්‍රව්‍ය විෂ සහිත ආහාර ද්‍රව්‍ය බවයි.

ඒ වගේම ප්‍රමිති ආයතනයේ නිර්ණායකය වන්නේ ආහාර කිලෝග්‍රෑම් එකකට ඇෆ්ලටොක්ෂීන් මයික්‍රෝග්‍රෑම් 10ක්. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය කියන තුරු ප්‍රමිති ආයතනයට මෙම පොල් තෙල් විෂ සහිත බව කියාගන්න බැරි වුනා. එතන ගැටලුවක් තිබෙනවා. දැන් තමයි ප්‍රමිති ආයතනය මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ. දැන් ප්‍රමිති ආයතනය රටට කියන්න ඕනෑ පසුගිය කාලයේ ආනයනය කළ පොල් තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කළාද? ඇතැම් ආයතනවලින් ගෙන්වන ලද පොල් තෙල් පරීක්ෂා නොකරම නිදහස් කළාද? සෞඛ්‍ය අමාත්‍යංශය මේ පොල්තෙල් විෂ සහිතයි කියලා කියද්දී ප්‍රමිති ආයතනයට ඒ බව කියන්න බැරි වුනේ ඇයි? කියලා. මෙතන ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා.

සීනී බදු වංචාවේ කොටස්කාරයෙක් කියලා චෝදනා එල්ල වුණු නුෂාඩ් ජනාධිපතිවරයා විසින් ප්‍රමිති ආයතනයට පත්කළා !

පසුගිය කාලයේ අමාත්‍යංශ ගැසට් කරනකොට ප්‍රමිති ආයතනය ජනාධිපතිවරයා විසින් පවරාගත්තා. සීනි බදු වංචාව වෙන වෙලාවෙදී සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නුෂාඩ් පෙරේරා පසුව ප්‍රමිති ආයතනයේ සභාපති බවට පත්කළා. මුදල් අමාත්‍යංශය පවා පිළිගත් කෝටි 1590ක වංචාවක් සිදුවුනු සීනී බදු වංචාවේ කොටස්කාරයෙක් කියලා චෝදනා එල්ල වුණු නුෂාඩ් ජනාධිපතිවරයා විසින් ප්‍රමිති ආයතනයට පත්කළා. පොල් කෑල්ල කාපු බළලට උම්මලකඩ කෑල්ලෙන් ගැහුව්වා වගේ වැඩක් ජනාධිපති සිදුකළේ. අද විෂ පොල් තෙල් ගේන්න අනුමැතිය ලබාදෙන තත්වයක් ඇතිකරලා තිබෙනවා.

පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් කියනවා පොල්තෙල්වල විෂ හොයාගත්තේ ආණ්ඩුව මිසක විපක්ෂය නෙවෙයි කියලා. ඒක ඇත්ත. මොකද ආහාර සම්බන්ධයෙන් ප්‍රමිතියට වගකිව යුතු ආතන තිබෙන්නේ ආණ්ඩුව යටතේ. එතකොට එහි වගකීම තිබෙන්නේ ආණ්ඩුවට මිසක විපක්ෂයට නොවේ. ඒ නිසා මෙම විෂ පොල් තෙල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටට ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. මොකද මීට පෙර හාල් මිල ඉහළ ගියාම, වී මිලදීම ගැන අදාල ඇමතිවරයා ප්‍රකාශ නිකුත් කරනවා. ඒ නිසා ප්‍රමිති ආයතනය භාර ජනාධිපතිවරයාට නිසා මීළඟ ගම සමඟ පිළිසඳරට පෙර මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

කනබොන එක සීමා වෙලා තිබියදී කන්න තියෙන දේත් විෂ සහිතනම් මොකද කරන්නේ ?

පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පර්යේෂණ ඒකකයක් තිබෙනවා. එහි ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ඇෆ්ලටොක්ෂීන් පිළිබඳ මීට පෙර ඔවුන් පරීක්ෂණ සිදුකරලා තිබෙනවා. ඔවුන්ගේ සහය ලබාගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ඔවුන්ගෙන් සහය ගන්නවා අපි දැක්කේ නැහැ. කන බොන සියල්ලේ මිල වැඩිවෙලා කනබොන එක සීමා වෙලා තිබියදී කන්න තියෙන දේත් විෂ සහිතනම් මොකද කරන්නේ කියලා ජනතාව නැවත වරක් කල්පනා කරන්න ඕනෑ. ජනතාවට වස විසෙන් තොර ආහාර ලබාදීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. වාචාලකම්වලින් ඇෆ්ලටොක්සීන්වල විෂ මකන්න බැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මකවත් කෘෂි විද්‍යාත්මකවයි මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

ඇෆ්ලටොක්ෂීන් වැනි විෂ සහිත ආහාර විනාශ කිරීමට ලෝකය පිළිගත් ක්‍රමවේදයන් තිබෙනවා. එම විෂ පසට, ජලයට, වායුගෝලයට මිශ්‍ර නොවෙන ලෙස, ශරීරගත නොවෙන ලෙස විනාශ කරන්න ක්‍රමවේදයන් සොයගෙන තිබෙනවා. මේක ප්‍රතිඅපනයනය කිරීම උත්තරය නොවෙයි. අපි මනුෂ්‍යයෝ විදියට කොහෝ හෝ රටකට ගිහින් දාන්න කියන්න බැහැ. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. ලෝකය තිබෙන පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට සුනිල් හඳුන්නෙත්ති පිළිතුරු ලබාදෙමින් !

බදු සහන විතරක් නෙවෙයි රටේ මූල්‍ය පද්ධතිය, බැංකු ණය සැපයීම, වගේ අනිකුත් දේවල්වලින් පෝර්ට්සිටිය වෙනස් කරලා. රටේ අනෙකුත් ප්‍රදේශවලට බලපාන නීති රීති, මූල්‍ය නීති සියල්ලන්ගෙන්ම නිදහස් කරලා. මේ ආයෝජන කලාපය පටන් ගන්න කලින් මෙතැනින් එළියේ තිබුණු ව්‍යාපාරවලටත් සමහර පහසුකම් දීලා තිබුණා. මේ නිසා එක සමාන තරගකාරී ව්‍යාපාර කරන බොහෝ දෙනෙකුගේ ව්‍යාපාර අඩාල කරලා රට ඇතුළෙම ජාවාරම් කරන පිරිසකට වෙනම පහසුකම් සපයාදීමකුත් සිදුවෙනවා. බැලූ බැල්මට මේක බරපතළ තත්වයක්. මේ ගැසට් එක ගැන අධ්‍යයනය කරලා සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

රටේ පොල්තෙල් හිඟයක් ඇතිවෙනවා නම් ආණ්ඩුව ඊට වගකියන්න ඕනෑ. ගෙන්වා තිබෙන මේ කන්ටේනර් 13 නතර කිරීම නිසා හිඟයක් ඇතිවෙනවා කියලා බේරෙන්න ආණ්ඩුවට බෑ. හිඟයක් ඇති වෙනවා නම් ජාවාරමට ඉඩ දෙන එක නෙවෙයි මූලිකව හිඟයක් ඇතිවීම වළක්වන්න ආණ්ඩුවේ යාන්ත්‍රණය සමත්වෙන්න ඕනෑ. එහෙම නොකරනවා කියන්නේ ආණ්ඩුවට වගවීමක් නැහැ කියන එක. තව කන්ටේනර් 100ක් විතර පරීක්ෂා කරන්න තියෙනවා නම් ඒවත් පරීක්ෂා නොකර එළියට ආවොත් මොකද වෙන්නේ. ජාවාරම් කරන අයට එකඟතාවයෙන් කටයුතු කරන්න මේ යාන්ත්‍රණය ඉඩදීලා තියෙනවා නම්, මීට කලින් කොච්චර ඉඩදීලා තියෙනවාද කියලා ඒගොල්ලන්ටම පිළිගන්නවා වෙනවා. පොල්තෙල්වලට අදාළව විතරක් නෙවෙයි මීට කලින් ප්‍රශ්නගතවු හැමදේකටම අදාළව එක සාම්පලයකින් මුළු ජාවාරමම වහගෙන කියලා පිළිගන්න සිද්ධ වෙනවා. පෞද්ගලික ගුදම්වලට නිකුත්කළාට පස්සේ රේගුව, පාරිභෝගික අධිකාරිය, සෞඛ්‍ය අංශ වගේ කිසිම රාජ්‍ය ආයතනයක නිලධාරීන් ඒ ගුදම්වල නෑ. බරපතළකම තිබෙන්නේ මෙතැන. විෂ කාරක පොල්තෙල් ගෙනාවා කියලා ඔප්පුවෙලා තියෙද්දී, ඒ අය සද්භාවයෙන් ව්‍යාපාර කළා කියලා කාටවත් කියන්න බෑ. බරපතළම ප්‍රශ්නය තියෙන්නේ මේ යාන්ත්‍රණයේ හිඩැස විසින් දිගටම ජාවාරම සිද්ධ වුණාද කියන එකයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න