Language Switcher

V2025

ඔබගේ යුතුකම අමතක නොකරන තාක් ඔබ ශක්තිමත් - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

NSBM හරිත සරසවිය ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය වෙනුවෙන් පවා විශිෂ්ඨත්වයේ මුද්‍රාව ලැබී තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් බවත්, රටක් විදියට ශ්‍රී ලංකා මාතාව පැළදි වටිනා ආභරණයක් බවට අද NSBM හරිත සරසවිය පත්වී තිබීම මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටම අභිමානයක් බවත්, වසර 10 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම හරිත සරසවිය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටුවෙන කෙනෙක් ඉන්නවානම්, ඒ වෙන කවුරුත් නොවෙයි ඩලස් අලහප්පෙරුම බව ඊයේ (20) පෙරවරුවේ පැවති NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,

මගේ දේශපාලන දිවියෙන් විශ්‍රාම ගිය පසුත් සතුටු වෙන්න පුලුවන් කාරණා කීපයකින් එකක් තමයි මේ හරිත සරසවිය බිහිකිරීමට අප දුන් දේශපාලන නායකත්වය. නිපුනතා මැදුරේ, හයවන මහලේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කරද්දි අපට නොයෙක් බාධා පැමිණූනා. රජයේ සමහර නිලධාරීන් ඇසුවා ඔය කැලේට විශ්ව විද්‍යාලයක් හදලා වැඩක් තියෙනවාද කියලා. ජාතික සැලසුම් ආයතනය පවා නොවැදගත් යයි කියමින් අපේ සැලසුම මුල් වතාවේදී ප්‍රතික්ෂේප කලා. එදා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමා නොවන්නට මෙම සංකල්පය තිඹිරි ගෙයදිම මිය යන්නට තිබුණා. ඒ නිසාම එකම ඉල්ලීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකා දෙකතුනක් ඉදිරිපත් කරන්නට සිදුවුණා.

සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් සමරු පළකයක් ලියන්නේ නැහැ. ඒත් මේ සරසවියේ සමාරම්භක සමරු පලකයේ තිබෙන්නේ මගේම වදන්. ඒ විතරක් නොවෙයි ඉතාමත් නිහතමානී ආඩම්බරයකින් කියන්න ඕන හරිත සරසවිය Green University යන නම පවා යෝජනා කලේ මම. අන්න ඒ නිසයි මම කිව්වේ මෙම විශ්ව විද්‍යාලයේ සාර්ථකත්වය ගැන වැඩියෙන්ම නැතිනම් උප කුලපතිතුමා තරමටම සතුටු වන පුද්ගලයා මම බව.

වර්තමාන ජනාධිති ගෝඨාභය රාජපක්ෂ  එදා නාගරික සංවර්ධන ලේකම් ලෙස මේ බිම අපට සති දෙකකින් ලබාදුන්නා. මහින්ද රාජපක්ෂ  රාජ්‍ය නායකයා ලෙසට අපට මේ ව්‍යාපාතියට අවශ්‍ය විශිෂ්ඨ නායකත්වය ලබාදුන්නා. ඒ වෙනුවෙන් එතුමන්ලාව මේ අවස්ථාවේ කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුයි.

එදා 2012 දී නුගේගොඩ ප්‍රදේශයේ කුලී ගොඩනැගිල්ලක දරුවන් සිය ගණනකින් ආරම්භ කල මේ විද්‍යායතනය, අද සිසුන් 11,000 ක් පිරිවරාගත් ජාතියේ දැවැන්ත සරසවියක් බවට පත්වෙලා. මේ සාර්ථකත්වයේ රහසක් තිබෙනවා. පසුගිය වසර 10 ඇතුලත විවිධ ආණ්ඩු, විවිද අමාත්‍යවරු මේ ස්ථානය බාරව කටයුතු කලා. නමුත් ඒ කිසිවෙක් හරිත සරසවියේ නායකත්වය, උපකුලපති ධූරය වීරසිංහ මැතිතුමාගෙන් වෙනස් කලේ නැහැ. එයයි මෙහි සාර්කත්වයේ රහස. අද උපාධිධාරීන් බවට පත්වන්නේ හරිත මාතාවගේ 08 වැනි දූ දරුවන් පිරිසයි. තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය සෑම දෙමාපියෙකුගේම සිහිනයක්. මේ දූලා පුතාලා අද දෙමව්පියන්ගේ ඒ සිහිනය සැබෑ කරලා තිබෙනවා.

උසස් අධ්‍යාපනය සාර්ථකව නිම කර උපාධිය ලැබීම අබියස සිටින මේ දරුවන්ගේ ජීවිතයේ හොදම කාලය මෙය කියලා හදුන්වන්න පුළුවන්. ඒ වාගෙම ගෝලීය වසංගතයකින් මුළු ලොවම වසාගෙන සිටින මේ කාලය මේ දරුවන්ගේම ජීවිතයේ නරකම කාලය කියලත් හදුන්වන්න පුළුවන්. අනාගතයේ යම් දවසක මේ දුවලා පුතාලාම මේ මොහොත ගැන අතීතානුස්මරණයක යෙදේවි හරියට අර චාල්ස් ඩිකන් ගේ Tale of two Cities පොතේ අති ජනප්‍රිය ආරම්භය වගේ. It was the best of times. It was the worst of times

අද උපාධිධාරීන් වන මෙම දරුවෝ මේ හරිත සරසවියට පියනගන්නේ මීට වසර 3 කට එපිට දීයි. සරසවියට පියනැගූ ලෝකයට නොවෙයි වසර 3 කට පසු ඔබ අද පිටව යන්නේ. ගෙවුන වසර 03 තුල අප ලෝකය විශාල වෙසන්කමකට ලක්වී තිබෙනවා. 1වන සහ 2 වන ලෝක යුද්ධ වලට පසු ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙලක් කල් යනවා. රියැලිටි ටීවී තරුවක් වෙනුවට පරිනත දේශපාලඥයෙක් අද නිදහස් ලෝකයට නායකත්වය දෙනවා. Viber වෙනුවට Whatsapp වල නැතිනම් Facebook වෙනුවට Instagram වල ඔබ ජීවිතයෙන් වැඩි කොටසක් ගත කරනවා. හිස මුඩු කෙනෙක් වෙනුවට හිසේ කෙස් පිරුණ කෙනෙක් ලොව ධනවත්ම පුද්ගලයා වෙනවා. වසර 03 කට පෙර ඔබ අත සේදුවානම් ඒ කෑමට පසුව පමණයි. නමුත් අද. මේක ලොකු වෙනසක්. නමුත් වෙනස යනු සදාතනික දෙයක්. එය සෙමින්, සීඝ්‍රයෙන්, සෘජුව, වක්‍රාකාරව වෙනස් වන්නට පුළුවන්. නමුත් ඔබට ඇති අභියෝගය එවැනි ඕනැම වෙනසකට ධනාත්මකව මුහුණ දීමයි. එම වෙනස ගෝලිය වේවා, සමාජීය වේවා, ආකල්පමය වේවා, එය කුමක් වුවත්, එම වෙනස ධනාත්මකව වෙනසක් බවට පරිවර්ථනය කරගැනීමයි එබේ නිපුණතාවය වියයුත්තේ. එය smart විය යුතුයි. එයට අවශ්‍ය පන්නරය පසුබිම ඔබ සියලු දෙනාටම සකස්වී තිබෙනවා හරිත සරසවි උපාධිධාරීන් ලෙසට.

අගමැති වින්ස්ටන් චර්චිල් පැවසුවේ. To improve is to change, to be perfect is to change often. වෙනස්වීම වැඩි දියුණූවිමයි. නිතර වෙනස්වීම පරිපූර්ණ වීමයි.

ඉතින් ධනාත්මකව වෙනස්වන්ට අද දවසේ අධිෂ්ටාන කරගන්න. මේ දරුවන් ජෙනරෙෂන් Z සාමාජිකයෝ. නැතිනම් සමාජ මාධ්‍යය භාවිතාව ප්‍රගුණ කල පුරවැසියන්. එම නිසා මා ඔබට වඩාත් හුරු භාෂාවෙන් එය නැවත මතක් කරන්නම්. Hash tag Positive change. අද උපාධිධාරීන් වන ඔබ එම විධිමත් සුදුසුකම් දරාගෙන සමාජයට අවතීර්ණ වෙනවා. රටේ ආර්ථිකය සක්‍රීය දායකත්වයක් දැක්විය හැකි පුරවැසියන් බවට පත්විම ඔබේ මීලග ඉලක්කයයි.

තම සුදුසුකමට ගැලපෙන රැකියාවක් ලබාගැනීම. රැකියා වෙළදපලේ තමාට ඉල්ලුමක් ඇතිකර ගැනීම, වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමින් එහි ඉහලට ගමන් කිරීම. ආර්ථික වශයෙන් ස්වාධීනවීම, න්‍යෂ්ථික පවුලෙන් මිදී තමාගේම කියා පවුලක් ගොඩනැගීම වැනි අරමුණු අභිමතාර්ථයන් රැසක් ඒ හා බැදී පවතිනවා. මනුස්ස ආත්මයක් ලැබීමට තරම් වාසනාවන්ත වූ ඔබ සියුලු දෙනා මනුෂ්‍යත්වයට හිමිකම් කියන සතුට සහ සෞභාග්‍යය යොයා පියාසර කරන්නට අවැසි තටු අද ඔබ ලබා තිබෙනවා. හොදින් මතක තබාගන්න. ඔබට යා නොහැකි ඉමක් නැහැ.

නාට්‍ය රචක මහා කවි විලියම් ශේක්ස්පියර් ඔහුගේ Twelfth Night නාට්‍යයේ මෙන්න මෙහෙම කියනවා. Some are born great. Some achieve greatness. Some have grearness thrust upon them. සමහරු උපදින්නේම ශ්‍රේෂ්ඨත්වය දරාගෙනයි. සමහරු ශ්‍රේෂ්ඨත්වය සාක්ෂාත් කරගන්නවා. තවත් සමහරුන්ට ශ්‍රේෂ්ඨත්වය බලෙන් ලගා කරනවා. සැබෑ ජීවිතයේ අපට බලාපොරොත්තු වෙන්න බැහැ ශ්‍රේෂ්ඨත්වය දරාගෙන උපදින්න හෝ ශ්‍රේෂ්ඨත්වය බලෙන් ලගා කිරීමක් ගැන විශ්වාසය තබා ගන්න. නමුත් මතක තබාගන්න ඔබගේ බොහෝමයක් දේශපාලන හෝ සමාජීය වීරයන් වරක් බොහෝම සාමාන්‍ය මිනිසුන් සහ ගැහැණුන් වූ බව. ඔවුන්ගේ ආරම්භයන් ඉතාමත්ම පොදු පසුබිම් තුළින් ගොඩනැගුන බව. ඔබ මුලින්ම උත්සාහ කරන්න ඔබ තෝරාගත් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ වන්න. විශිෂ්ඨත්වය ප්‍රගුණ කරමින් තවත් ඉහලට යමින් එහි උත්කෘෂ්ඨ වන්න. උත්කෘෂ්ඨත්වය තිරසාර කරගතහොත් ඔබට පුළුවන් යම් දිනෙක ශ්‍රේෂ්ඨ වන්න.

ඔබ ඔබගේ හොදම version එක වෙන්න නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය ජීවන පැවැත්ම කරගන්න. අභියෝග මැදින් නෙසැලී පියඹන්න. ඔබ හැමදෙනෙක්ම ජීවන සටනේ රණශූරයෙක් හෝ රණශූරියක්. ආශ්චර්යවත්වීම හෝ මැකීයාම පිළිබදව තීරණය ඔබ සතුයි.

අප සැලසුම් කරන ලෙසට දේවල් නොවන්න පුළුවන්. එයයි ලෝක ස්වභාවය. නමුත් මේ දුලා පුතාලාට මං කියලා දෙන්නම් පිළිවෙත් 03 ක්. ඒවා නොනැසී පවත්වාගන්න. ශ්‍රේෂ්ඨත්වය ඔබට නුදුරු බව එයින් සාක්ශාත් කරාවි. Three P’s කියලා අපි එම වචන 03 හදුන්වමු. ඇල්ම, ඉවසීම, උට්ඨාන වීර්යය. ඔබ යම් ක්ෂේත්‍රයකට නැතිනම් ශිල්පයකට දක්වන දැඩි ඇල්ම Passion. එහි සාර්ථකත්වයට එළඹීමට නම් දුෂ්කරතා, අභියෝගතා, බාධක, අවහිර ගැහැට ඉවසීම Patience. ඉහත කරුණු දෙකම නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය උට්ඨාන වීර්යය ප්‍රගුණ කිරීම Pereseverance. එම පිළිවෙත් 03 ඔබේ වෘත්තීය ආචාර ධර්ම - work ethic එක බවට පත්කරගන්න.

ලෝකයේ ජනගහණය කියද. බිලියන 7.9 යි. එයින් නැත්නම් ප්‍රථම උපාධිලාභීන් සිටින්නේ 6.7%. ඒ කියන්නේ මුළු ලෝකයටම මිලියන 529යි. අද දිනයේ මේ දුවලා පුතාලා එම 6.7% සුවිශේෂී මානව මානවිකාවන්ගේ කුලකයට ඇතුලත් වෙනවා.

ලොව පැරණිතම විශ්ව විද්‍යාලය ලෙසට පිළිගැනෙන්නේ ඉතාලියේ බැලොන්යා නගරයේ 11 වන ශත වර්ෂයේ ස්ථාපිත කල බැලෝනියා සරසවියයි. එදා සිටම මානව ඉතිහාස පුරාවටම සරසවියකින් සමාජයට කළඑළි බැස්ස දරුවන් මානව සංහතියේ ප්‍රගමනය, උනන්තිය, වෙනුවෙන් කැපවුනු පෙරගමන්කරුවන් බවට නිරන්තරයෙන් පත්වූවා.

ඉතින් එවන් පුරවැසියන් ලෙසට සමාජයට, රටට, කළඑළි බසින්නේ හරිත සරසවි මෑණියකගේ තුරුලේ පෝෂණය වෙලයි. එය තවත් එක් නාමික සරසවියක් නොව දකුණු ආසියාවේම එකම හරිත සරසවියයි. තමන් ජීවත්වන රටට, සමාජයට සහ එහි චිරස්තිථිය වෙනුවෙන් පුරවැසි වගකීමක් ඔබ හැමටම තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජන්ම ලාභය ලැබීමට ඔබ වාසනාවන්ත වුණා. දැන් ඔබ එහි පුරවැසියෙක් ලෙස ජීවන ගමනක් යනවා. අවසාන වශයෙන් මම පුංචි කතාවක් කියන්නම්.

නිදහස් ඇමරිකාවේ ප්‍රාරම්භක පිතෘවරයෙකු වූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්, අර ඩොලර් 100 නෝට්ටුවේ ඉන්නේ, ඇමරිකානු ව්‍යස්ථාවේ දෙවන කටු පිටපත සම්පූර්ණ කිරීමෙන් පසුව ෆිලඩෙල්පියා නුවර නිදහස් ශාලාවෙන් නැත්නම් Independence hall එකෙන් මොහොතකට බැහැර යනවා. එළිමහනේදී ඔහු හමුවට එන කාන්තාවක් ඔහුගෙන් මෙසේ විමසනවා. ෆ්‍රෑන්ක්ලින් මහත්මයාණෙනි, මොන ආකාරයේ පාලනයක්ද ඔබ අපට උරුම කර දෙන්නේ. ෆ්‍රෑන්ක්ලින් පිළිතුරු දෙනවා. ජනරජයක් මහත්මිය. ඔබට එය රැකගන්න පුළුවන්නම් ..

දුවලා පුතාලා.., හොදට හිතට ගන්න. රටක වගකීම ඇත්තේ වරප්‍රසාදලාභී ස්වල්ප දෙනෙකුගේ අතේ නොවෙයි. ඔබ හැම කෙනෙක්ම ඔබගේ යුතුකම නැතිනම් රාජකාරිය අමතක නොකරන තාක්කල් ඔබ ශක්තිමත්. ඒ වගේම ඔබ නිදහස්. ආදරනීය දරුවනි මේ ඔබේ මාතෘභූමියයි. හොදට හිතට ගන්න ඔබ ඔබේ කාර්යයභාරය හරියට ඉටුකලහොත් කවදා හරි දවසක ඔබගේ දරුවන් ජීවත්වන්නේත් මේ රටේමයි.

උපාධිධාරී ඔබ සියළුම දෙනාට ජයග්‍රාහී අනාගතයකට හෘදයාංගම සුභාසන පිරිනමමින් සහ NSBM සරසවිය නුදුරු අනාගතයේදීම ලෝකයේ සම්භාවනීය සරසවි පෙළ ගැසෙන නාමාවලිය තුළ රන් අකුරෙන් තැන්පත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඩ වීමට අවසර පතනවා යැයි ද පැවසීය.

nsbm campas 1000px