Language Switcher

V2025

මහ ලේකම්ගෙන් නිල ආරාධනයක් : චන්ද්‍රිකා යළිත් ශ්‍රීලනිපයට !

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දින සැමරුමක් සිදුකිරීමට තීන්දු කර ඇති අතර ඊට සමගාමීව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත යොමුකළ ලිපියක් හරහා ඇයට යළිත් නිල වශයෙන් ශ්‍රීලනිපය සමඟ එක්වන ලෙසත් ආරාධනයක් සිදුකර ඇත.

අදාළ ලිපිය යොමුකර ඇත්තේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විනිසි.

ඔහු එම ඉල්ලිමකර ඇත්තේ, ''එක් අතකින් ඔබතුමිය අවුරුදු 17 ක දූෂිත පක්ෂ පාලනයෙන් රට මුදවාගෙන අප පක්ෂය බලයට ගෙන ඒමට ක්‍රියාකළ අභීත නායිකාවකි. '' යයි ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමින්, ''ලැබුවා වූ සිංහල හා දමිල අළුත් අවුරුද්ද සුබ නව වසරක් වේවා''යි ප්‍රාර්ථනා කරමිනි.

''ඔබතුමියගේ ආදරණීය පියානන් වූ අප පක්ෂයේ නිර්මාතෘ ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ලේ වලින් පෝෂණය වූ ඔබ ආදරණීය මෑණියන් දශක ගණනාවක් නොසැලෙන ධෛර්යයෙන් රැකගත් මෙම පක්ෂයට ඔබගේ නැවත පැමිණීම ගෞරවයක් සේ සලකමි. '' ශ්‍රීලනිප මහ ලේකම්වරයා විසින් යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

හිටපු ජනාධිපතිනිය විසින් 2021.03.27 දින ශ්‍රීලනිප මහ ලේකම්වරයා වෙත යොමුකරන ලද ලිපියට පිළිතුරක් ලෙස හා එයින් මතුවූ දේශපාලන කරනා පැහැදිලි කරමින් අප්‍රේල් 20 වෙනිදා එම ලිපිය යොමුකර තිබේ.

ශ්‍රීලනිප මහ ලේකම්වරයාගේ ලිපිය පහත පළවේ.

2021.03.27 දින මා වෙත යොමුකරන ලද 2021.04.05 දින පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම පැවැත්වීම අවලංගු කරන ලෙස දැන්වීම සහිත ලිපිය පිළිබඳවයි.

ලැබුවා වූ සිංහල හා දමිල අළුත් අවුරුද්ද සුබ නව වසරක් වේවායි පළමුව ප්‍රාර්ථනාකරමින්, ඔබතුමිය විසින් මාවෙත එවන ලද ඉහත මාතෘකාව සහිත ලිපිය ලද බව කාරුණිකව දැනුම්දෙමි.

  1. අප පක්ෂයේ ව්‍යාවස්ථාවේ 12(1) (i) අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධූරයට පත්ව එකී ධූරකාලය අවසන්කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරුන් නිල බලයෙන් අනුශාසක ධූරයන්ට පත්කරන බව මම දනිමි.

  2. පක්ෂයේ ව්‍යවස්ථාවේ ii (iii) වගන්තිය අනුව එවැනි අයකු විධායක සභාවේ සාමාජිකයෙකු වන බවද මම දනිමි.

නමුත් ගරු මැතිණියනි, පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් පසුව පැවැති පක්ෂයේ උතරතරීතර මණ්ඩලය වන දේශපාලන මණ්ඩලයේදීත්, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදීත්, 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබාදීමට ගත් පියවරයට එරෙහිව කටයුතුකළ අයට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබේ.

    1. 21 පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී පක්ෂයේ මතයට එරෙහිව කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, හා පළාත්පාලන මන්ත්‍රීවරු ඇතුලත්ව පක්ෂයේ නිලතල දරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා විනය පරීක්ෂණ කැඳවා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එයට සම්බන්ධ වූ ආසන සංවිධායකවරු හෝ දිස්ත්‍රික් සංවිධායකවරු ඉවත්කොට නව සංවිධායකවරු පත්කිරීමටත් තීරණය කරන ලදී.

එසේම 2020.01.16 දින පැවති මාධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය තවදුරටත් සාකච්ඡාකර අනුමත කරමින් ඉදිරි පියවර ගැනීමට තීන්දු කරන ලදී.

මෙම තීරණය මත ඔබතුමියගේ නායකත්වයෙන් යුතුව 2019.11.05 දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දැක්වීමට සංවිධානය කළ "අපි ශ්‍රී ලංකා" සංවිධානය විසින් මෙහෙය වූ රැස්වීම සංවිධානය කළ අයට හා එයට සහභාගි වූ අයද, එසේම 2019.11.01 දින ටාජ් සමුද්‍ර හෝටලයේදී ඔබතුමියද සහභාගි වූ උත්සව සභාවක එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක සිටි රුවන් රණතුංග මහතා ද අත්සන් කරන්නට යෙදුව අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවට සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරුද ඇතුලත්ව 26 දෙනෙකු එම තනතුරුවලින් ඉවත් කර ලිපි යැවීමට මාහට බලය ලබා දෙන අතර ඒ අනුව මා ක්‍රියාකරනු ලැබීය.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජිත් විජයමුණි සොයිසා මැතිතුමා හා ඒ එච් එම් ෆවුසි මැතිතුමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂයෙන් නෙරපනු ලැබුව අතර ඔවුන් පසුව අධිකරණයෙහි නඩු පවරනු ලැබීය.

මීට අමතරව පළාත් පාලන ආයතන නියෝජිතයන් ගණනාවක් විනය පරීක්ෂණ පවත්වා පක්ෂයෙන් නෙරපා දැමූ අතර තවත් කිහිප දෙනෙකුට එරෙහිව තවදුරටත් විනය කටයුතු පැවැත්වෙමින් තිබේ.

පක්ෂයේ තීන්දුවලට පටහැනිව ක්‍රියාකල අයහට අත්වන ඉරණම මෙය බව හසල දේශපාලන අත්දැකීමක් ඇති ඔබතුමිය මට වඩා හොඳින් දන්නා බව මම විශ්වාස කරමි.

පක්ෂයේ විනය සෑම දෙනෙකුටම සමාන විය යුතුය යන්න ඔබතුමිය හොඳින් වටහාගෙන ඇතැයි මම විශ්වාස කරමි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය, විධායක සභාවද, සමස්ථ ලංකා කාරක සභාව සහ පක්ෂ සම්මේලනයේදී ගත් තීන්දු හා තීරණයන් අනුව 2019 ජනාධිපතිවරණයේදී අප පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දිය යුතුයැයි තීරණය කර තිබියදී, ඊට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීම හා ඒ වෙනුවෙන් පිරිස් පෙළඹවීම හා සංවිධානය කිරීමද එයට නායකත්වය ගැනීමද පක්ෂයේ විනය බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි.

පක්ෂය තුළ නීති දෙකක් නෑ !

බලවතුන්ට එක නීතියකුත් සාමාන්‍ය අයට තව නීතියකුත් යන ලෙස නීති දෙකක් පක්ෂයක් තුළ පැවතිය නොහැක. එබැවින් ඉහත සඳහන් කළ අයට එරෙහිව ගත් තීරණයම ඔබතුමියටද එකසේ අදාළ වන බව නිතීඥවරයෙකු ලෙස මාගේ අදහසයි.

පක්ෂයේ රැස්වීම් හා වෙනත් කටයුතු සඳහා මා ඔබතුමිය වෙත ආරාධනා නොකිරීම පක්ෂයේ විනාශකිරීම සඳහා මා විසින් සිදුකරන ලද කුමන්ත්‍රණකාරී කටයුත්තක් ලෙස දක්වමින් මා හට චෝදනා කිරිම පසෙකලා හෘදසාක්ෂියට එකඟව සත්‍ය තත්වය අවබෝධකර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

පක්ෂය දැවැන්ත අභියෝගාත්මක යුගයක් ගත කරමින් සිටින මෙම මොහොතේදී මා කරමින් සිටින්නේ පක්ෂය විනාශ කිරීම නොව පිටතින් සිටින කුමන්ත්‍රණ කරුවන්ගෙන් පක්ෂය බේරාගෙන පක්ෂය නැවත ගොඩනැගීමට ක්‍රියා කරමින් පක්ෂයේ ගරු සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයේද ලක්ෂ සංඛ්‍යාත පාක්ෂිකයන්ගේද බලාපොරොත්තු සහගත නොනිමි අරගලයට අවශ්‍ය ජවය හා ශක්තිය ලබාදීමයි.

දැනට සිදුව තිබෙන්නේ ඔබතුමියට අප පක්ෂයේ නිල කටයුතු සඳහා ආරාධනා නොකිරීම පමණකි. එය මාගේ පුද්ගලික තීරණයක් නොවන බවත් එය සියලු තනතුරුලාභීන්ටද අදාල වන ලෙස මාධ්‍යම කාරක සභාව ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත් දැනුම් දෙමි.

මෙපමණ කාලයක් මාධ්‍ය විසින් මෙම කරුණ අරභයා මාගෙන් ප්‍රශ්න කිරීමේදී මා විසින් ඉතා කල්පනාකාරීව පිළිතුරු ලබා දුන්නේ ඉහත තත්වයන් සියල්ලද තවත් කරුණු රැසක් පිළිබඳවද මනා අවබෝධයෙන් යුතුව බව ඔබ තුමියට දැනුම්දීමට කැමැත්තෙමි.

'ශ්‍රීලනිපය බලයට ගෙන ඒමට ක්‍රියාකළ අභීත නායිකාව'

එක් අතකින් ඔබතුමිය අවුරුදු 17 ක දූෂිත පක්ෂ පාලනයෙන් රට මුදවාගෙන අප පක්ෂය බලයට ගෙන ඒමට ක්‍රියාකළ අභීත නායිකාවකි. එසේම ඔබතුමියද නායකත්වය දැරූ ඔබතුමිය අනුශාසකවරියක් ලෙස කටයුතු කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද තීන්දුවට එරෙහිව කටයුතු කරන ලද සාමාජිකාවකි. පක්ෂයේ විනය කඩකිරීමක් දරන ලද තනතුරු හා විශිෂ්ඨ ක්‍රියාකාරීත්වයට හිලව්කල යුතුද?

එබැවින් ඔබතුමිය නොකැඳවමින් මාගේ හිතවතුන් කැඳවමින් මට වාසිදායක තීන්දු ගැනීමට මා ක්‍රියාකරමින් සිටින්නේය යන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බැවින් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.

මා හට වාසිදායක හා මට උවමනා තීරණ පක්ෂය තුළ ගන්නේ යැයි යනුවෙන් කරන ලද කරුණු දැක්වීම පක්ෂයේ තීරණ ගන්නා අයවලුන් දැඩි අපහසුතාවයට පත් කිරිමක් වන අතර ඔවුන්ව අපහාසයට ලක්කිරීමකි.

අප පක්ෂයේ සභාපතිතුමා ප්‍රධාන සියලු නිලධාරීන් හා මධ්‍යම කාරක සභාව එවන් අපහාසයකට කිසිවිටෙකත් ලක් නොවිය යුතුය.

මෙම තත්වයන් තුළ ඔබතුමිය හා සබැඳි විමසීම්වලදී "එතුමිය නැවත අප පක්ෂයට එකතුකරගන්නවා" යන්න හැර මට කීමට ඇත්තේ කුමක්ද?

පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන්නන් පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කරන විට, පක්ෂය කඩා නව පක්ෂ ගොඩනගන විට, ඔවුන් සම්බන්ධයෙන් එක නීතියකුත් ඔවුන් පසුපස ගොස් අනාථභාවයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත්සභා මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකවරුන්ට, දිස්ත්‍රික් සංවිධායකවරුනට හා පළාත් පාලන නියෝජිතයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක නොවිය යුතුය.

නමුත් මේ කිසිවක් නොතේරෙන අයෙකු සේ ඔබතුමිය කළ වැරැද්ද පසෙක තබා මා හට චෝදනා කිරිම කොතරම් සාධාරණද යන්න සිතා බලන මෙන් ඉල්ලමි.

ඇතැම් විට ඔබතුමිගේ දේශපාලන පරිණතභාවය මත ඔබතුමිය ගත් තීරණය නිවැරදි තීරණයක් ලෙස ඔබතුමිය විග්‍රහ කළද, පක්ෂය ගනු ලබන පොදු තීරනය සුරැකීම අප සැමගේ වගකීමක් බවටත්, එය කඩකිරීම විනය විරෝධී කටයුත්තක් බවටත්, තර්කයක් තිබිය නොහැක.

පක්ෂය විසින් ගන්නා තීරණයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේදී විවිධ දෝෂාරෝපණ හා දොස් පැවරීම්වලට ලක්වීම ස්වභාවික බව මා හොඳින් අවබෝධකරගෙන ඇත.

කෙතරම් නිවැරදි තීරණයක් සම්බන්ධයෙන් වුවද විචේචන තිබිය හැක.

ඔබතුමිය ඇතුලු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරිමට කටයුතු කිරීම මත, ඔවුනට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන විට, එම පාර්ශවය මා සමඟ ඇති කරගන්නා වෛරයත් පොදුජන පෙරමුණ සමග ඇතිකරගත් ගිවිසුම් කොන්දේසි කඩකරන විට ඒ පිළිබඳ අදහස් දැක්විමේදී එම පාර්ශවයේ නායකත්වයන්ගේ උදහස්වීම් සහ මා හට කරන පහරදීම් අප ආදරණීය පක්ෂය වෙනුවෙන් ඉවසන්නට මා පුරුදු වී සිටිමි.

2021.02.25 දින පැවැති පක්ෂයේ විධායක සභාව කැඳවීම මා විසින් නිවැරදිව කර ඇත.

විධායක කාරක සභාව සඳහා කැඳවන අයගේ නාම ලේඛණ්‍ය මධ්‍යම කාරක සභාව විසින් අනුමත කර ඇත. එම රැස්වීමේ තොරතුරු සියල්ල මැතිවරණ කොමිසමට යැවිය යුතු බැවින් පක්ෂයේ මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියෙකු හා වීඩියෝ කැමරා ශිල්පියෙකු එහි සියලු කටයුතු ආවරණය කරන ලදී.

පක්ෂයේ ව්‍යවස්ථාපිත සංවිධානවලට විශේෂ රැස්වීම් කැඳවීමේ බලය 15 (1) (ආ) වගන්තියෙන් පක්ෂයේ සභාපතිවරයාට හිමි බලයකි. එම විධායක රැස්වීම්වලට අදාල කැඳවීමේ ලිපි සභාපතිතුමාගේ අත්සනින් යැවිය යුතුයැයි පක්ෂ ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන්ව නැත.

මෙම සෑම කැඳවීමක්ම ඉතිහාසයේ සිට කර ඇත්තේ සභාපතිවරයාගේ නියෝගය මත ප්‍රධාන ලේකම්වරයා විසිනි.

ඉහත විධායක සභාවද කැඳවන ලද්දේ සභාපතිතුමා විසින් මා වෙත ලබා දෙන උපදෙස් පරිදිය. එබැවින් ඔබතුමිය විසින් කරුණු දක්වන විධායක සභාවද කැඳවීම මාගේ අත්සන සහිත ලිපියකින් සිදුවීම තුලින් කිසිදු වරදක් සිදුව නොමැත.

2021.02.25 දින පැවැත්වූ නිලවරණය හා නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීම නීත්‍යානුකූලය. පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව කලින් පත්ව තිබූ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වූ අතර පක්ෂයේ සභාපතිතුමා ලෙස නැවත වරක් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විධායක සභාවේ යෝජනා ස්ථීරත්වයෙන් පත්විය. සෙසු නිලධාරී මණ්ඩලයද නීත්‍යානුකූලව පත් කරගෙන ඇත.

පක්ෂයේ විධායක සභාවේ නීත්‍යානුකූල කාර්යභාරය අවසන් වූ පසු පැමිණ සිටි විධායක සභිකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර සමස්ථ විධායක සභිකයන්ද ඔවුන් සමග පැමිණි පිරිස්ද ආහාර ගන්නා ලදී.

මාගේ පුද්ගලික කාර්යමණ්ඩලය නොව පක්ෂයේ කාර්යමණ්ඩලය හා එම ඡායාරූප ශිල්පීන් ද මාධ්‍ය කටයුතුවල නිරත පිරිස්ද එම අවස්ථාවට එක් විය.

එම පිරිස කැඳවා විධායක සභාවේදී ඡන්දය ලබා ගත්තේ යන්න සම්පූර්ණයෙන්ම ප්‍රලාපයක්වන අතර එවන් මූලාශ්‍රවලින් ලබාගන්නා තොරතුරු, කේලාම් හා ඕපාදූප මත පිහිටා මෙලෙස අසත්‍ය තොරතුර සමාජගත කිරීම ඔබ වැනි නායිකාවකට තරම් නොවන බව කාරුණිකව දැන්විය යුතුය.

2021.04.05 දින පවත්වන්නට නියමිතව තිබූ සමස්ථ කාරක සභාව කල් දැමීමට පක්ෂය විසින් තීරණය කරන ලද අතර එදින විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කිරීම ඊට හේතුව විය. සාමාන්‍යයෙන් සඳුදා දින පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිවුවද එදින විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කරන ලදී.

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නිවැරදිව මෙම රැස්වීම කැඳවා තිබුණි. එම රැස්වීම සඳහා ඔබට ආරාධනා නොකිරීම මත එම රැස්වීම අනීතික වන්නේ නැත. පක්ෂයේ සමස්ථ සංවිධාන සියලු ආසනවල පිහිටුවා ඇත. එබැවින් නුදුරු දිනකදී පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව පවත්වා අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

ඔබතුමිය විසින් එවන ලද ලිපියට ප්‍රමාණවත් කරුනු ඉහත දැක්වූයෙමි. මීට අමතරව වෙනත් යම්කිසි කරුණක් දැනගැනීමට අවශ්‍යනම් මා ඇමතීමට කාරුණිකවන ලෙස ඉල්ලා සිටිමි.

චන්ද්‍රිකා පක්ෂයට ගන්නවා කියා කියන්නේ ඇයි ?

මෙම ඇති වී ඇති ගැටළුව ඔබතුමිය විසින් පක්ෂයේ ගරු සභාපතිතුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳාගත යුතු ගැටළුවකි.

අප චන්ද්‍රිකා මැතිණිය පක්ෂයට ගන්නවා කියා කියන්නේ ඇයිද යන්න ඔබතුමියට වැටහෙනු ඇතැයි සිතමි.

ඔබතුමියගේ ආදරණීය පියානන් වූ අප පක්ෂයේ නිර්මාතෘ ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ලේ වලින් පෝෂණය වූ ඔබ ආදරණීය මෑණියන් දශක ගණනාවක් නොසැලෙන ධෛර්යයෙන් රැකගත් මෙම පක්ෂයට ඔබගේ නැවත පැමිණීම ගෞරවයක් සේ සලකමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ජනතා නැවත පෙළගැසෙන මේ මොහොතේ අප කළ යුත්තේ අපගෙන් ගිලිහී ගිය සියලු බලවේග නැවත අප වටා ඒකරාශී කරගනිමින් බලයෙන් උද්දච්ඡ නොවී අප සමග සිටින සියලු පාර්ශවයන්ට ඇහුම්කන් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයක් බිහිකිරීමට කැපවීමත් ඒ තුලින්, වසර 70 ක කාලයක් තුල අසරණව ඇති අප මාතෘභූමිය සංවර්ධිත දේශයක් ලෙස ගොඩනැගීමට එකාවන්ව කටයුතු කිරීමයි.

ඕන කැපකිරීමකට සූදානම් !

ඒ වෙනුවෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මා ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවද, ඔබතුමිය සමග කිසිදු පෞද්ගලික හෝ දේශපාලන කෝන්තරයක් නැති බවද, ප්‍රකාශ කරමි. මෙම පක්ෂය යලි බලයට ගෙන ඒමේ අවංක උවමනාව පමණක් මා තුළ ඇති බව දැන්වීමට කැමැත්තෙමි.

පක්ෂයේ ලේකම්වරයා හැම විටම අන් අයගේ දෝෂාරෝපණයට ලක්වන්නෙකි. මා එය බලාපොරොත්තු විය යුතුය. පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙන යන්නට වැඩ කරන විට ඇති වට අතපසුවීම්, මඟ හැරීම්වලදී පළමුව පක්ෂයේ ලේකම්වරයා දෝෂදර්ශනයට ලක්වේ. පක්ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එම සෑම තත්වයකටම මා නිදහස් මනසකින් යුතුව මුහුණ දෙමි.

මෙම පිළිතුරු ලිපියෙන් ඔබතුමිට යම් සිත් රිදවීමක් ඇති වූයේනම් එයට මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

ස්තුතියි. නීතිඥ දයාසිරි ජයසේකර (පා.ම) ප්‍රධාන ලේකම්