Image

මෙරට: ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික හෙජමොනික සැකැස්ම අභියෝගයට ලක් කිරීමට ආණ්ඩුව සමත් ද...?

මෙරට: ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික හෙජමොනික සැකැස්ම අභියෝගයට ලක් කිරීමට ආණ්ඩුව සමත් ද...?

ජවිපෙ/ජාජබ ආණ්ඩුව මෙරට සංස්ථාපිත ජනවාර්ගික-ආගමික-සංස්කෘතික හෙජමොනික සැකැස්ම අභියෝගයට ලක් කරන්නට අසමත්ව තිබෙනවා පමණක් නොවෙයි; ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක් ප්‍රකට කරන්නේද නැත. එය ආණ්ඩුව බලයට ගෙන එන්නට සහාය දුන් අප ද ඇතුළු කණ්ඩායම් ගණනාවක බලවත් කලකිරීමට හා විරෝධයට හේතු වී ඇත.

අප ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කලාප විවේචනයට ලක් කරන්නනේ ඇයි...?

අප මෙසේ පවසන විටම අපගේ කරට අත දමා ගැනීමට උත්සාහ කරන එජාප, පොහොට්ටු, සජබ, ශ්‍රීලනිප, දිනන දකුණ යනාදි සුන්බුන් විපක්‍ෂයේ සහායකයින් හටත් පශ්චාත් නූතන රනිල්වාදීන්, චම්පිකවාදීන්, වීරවංශවාදීන් හා දිලිත්වාදීන් (මේ කණ්ඩායම් අතර එතරම් වෙනසක් නැත) හටත් කිව යුත්තේ නුඹලා ගේ ලුම්පන් නොහොත් පාදඩ ධනේශ්වර ව්‍යාපෘතිය සාධාරණීයකරණය කරගැනීමට ආණ්ඩුව කෙරෙහි වන අපගේ විරෝධය භාවිතා කරන්නට අප කිසිදාක ඉඩ නොදෙන බවයි. ඊට සපුරාම වෙනස්ව, අප ද ඇතුළු බහුතරයක් දෙනා ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කලාප විවේචනයට ලක් කරන්නට හේතු වන අමතර සාධකයක් වන්නේ ඉතිහාසයේ කුණු කූඩයට එක් විය යුතුව තිබෙන රනිල්, රාජපක්‍ෂ, සජිත්, වීරවංශ, චම්පික, දිලිත් යනාදී අතීත සුන්බුන්වලට අනවශ්‍ය වලංගුතාවක් ලබාදීමට ආණ්ඩුවේ අසමත්භාවය දායක විය හැකිය යන හැඟීමයි.

පැහැදිලි කරගත යුතු වැදගත් න්‍යායික සහ දේශපාලනික කාරණා කිහිපයක්

ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික හෙජමොනිය සමග වන වත්මන් ආණ්ඩුවේ ගණුදෙනුව වටහාගැනීමේ දී අප පැහැදිලි කරගත යුතු වැදගත් න්‍යායික සහ දේශපාලනික කාරණා කිහිපයක් සටහන් කරගත යුතුව ඇත.

(1) පළමුව, ජවිපෙ එහි ඉතිහාසය පුරාම අධිපති සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සැකැස්ම අභියෝගයට ලක් කරන ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් ගොඩනගා නොමැතිය යන කාරණය යි. ඒ වෙනුවට පක්ෂය රාජ්‍යයේ අධිපති ජාතිකවාදී දෘෂ්ටිවාදය සමග අනුගත වීමේත් ඇතැම්විට එහි සක්‍රීය ආරක්ෂකයින් වීමේත් (නිදසුනක් ලෙස 1983-1989 අවධිය) නැමියාවක් එහි ඉතිහාසය පුරාම ප්‍රකට කර තිබිණ. මෙය 1960 දශකයේ මැදභාගයේ පැන නැගී විකාශනය වූ මෙරට ග්‍රාමීය රැඩිකල් වාමාංශයේ සියලු ධාරාවල පොදු ලක්ෂණයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා තමන් මෙම ඓතිහාසික උරුමයෙන් කැඩී වෙන්වීමට සමත්ව ඇතැයි තවමත් ඒත්තු යන තරමින් අපට සනාථ කොට නොමැත.

(2) ජවිපෙ/ජාජබ ආණ්ඩු බලයට පත් වීම වියහැකියාවක් වූයේ 2022 ජනතා අරගලය විසින් නිර්මාණය කරන ලද නව සමාජ සම්මුතියක සන්ධර්භය තුළ බවත් එබැවින් එම අරගලයේ අභිලාෂයක් වූ සමාජ යුක්තිය ඉටු කිරීමේදී ආණ්ඩුව සංස්කෘතික ජාතිකවාදී ගතානුගතිකත්වයේ බලයට හිස නොනැමිය යුතු බවත් මේ දිනවල නිතර අසන්නට ලැබෙන තර්කයකි. නමුත්, මෙහිදී සිහි තබා ගත යුත්තේ ආරම්භයේ සිටම ජවිපෙ/ජාජබ නායකත්වය 'අරගලය' සමග නඩත්තු කළේ උපායික යැයි හැඳින්විය හැකි ආකාරයේ පරිබාහිර සම්බන්ධයක්ය යන්නයි. එය අරගලයේ ඓන්ද්‍රීය කොටස්කරුවෙකු වනවාට වඩා අරගලය සමග පළමුව උපායික සහ පසුකාලීනව උපායමාර්ගික සම්බන්ධයක් ගොඩ නගා ගැනීම ඔස්සේ අරගලයේ අපේක්ෂාවන්හි ජනප්‍රිය නියෝජනය බවට පත් විය. මෙම සම්බන්ධතාවෙහි සංයුක්ත ස්වභාවය සිහි තබාගැනීම ජවිපෙ/ජාජබ ආණ්ඩුව කෙරෙන් අරගලයෙහි අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන සෑම විටෙකම ප්‍රයෝජනවත් වනු ඇත.

(3) මෙසේ දේශපාලන පක්ෂ ඒවායින් පිටත සංවිධානය වන දෘෂ්ටිවාදී ව්‍යාපාර සමග දක්වන උපායික සහ උපාය මාර්ගික සම්බන්ධතා ඔස්සේ ආණ්ඩු බලය දිනාගැනීම නිදහස් ලංකාවේ ඉතිහාසය පුරාම නිරීක්ෂණය කළ හැකි පොදු ප්‍රවණතාවකි. බණ්ඩාරනායකගේ ශ්‍රීලනිපය 1950 දශකයේ මැදභාගයේදී සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය සමග දැක්වූ සම්බන්ධය (කියවන්න නිව්ටන් ගුණසිංහ), චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්‍රීලනිපය 1990 දශකයේ මුල් භාගයේදී ලිබරල් සිවිල් සමාජ ව්‍යාපාරය සමග දැක්වූ සම්බන්ධය මෙන්ම යම් දුරකට මහින්ද රාජපක්ෂ 2000 දශකයේ මැද භාගයේදී සිංහල රණකාමී ජාතිකවාදය සමග දැක්වූ සම්බන්ධය මේ සඳහා නිදසුන් ලෙස ගත හැකිය. මේ සෑම ඓතිහාසික සංධිස්ථානයකදීම පක්ෂය සහ එහි බහුජන පදනම සැකසූ දෘෂ්ටිවාදී ව්‍යාපාරය අතර කිසියම් පරතරයක්, පැල්මක් නිරීක්ෂණය කළ හැකි විය. පක්ෂය බලයට පත් වූ පසුවත් එහි බහුජන දෘෂ්ටිවාදී පෙරමුණ පක්ෂයෙන් සාපේක්ෂ ස්වායත්තතාවක් සහිතව දිගටම ක්‍රියාත්මක විය. එම දෘෂ්ටිවාදී පෙරමුණ සමග පක්ෂයට ඇති උපායමාර්ගික සම්බන්ධය බිඳ වැටෙන මොහොතේදී පක්ෂයේ දේශපාලන ආධිපත්‍යය බිඳ වැටීම ආරම්භ වේ.

(4) වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ නියාමකයින්, විශේෂයෙන්ම ජවිපෙ නායකත්වය, තවමත් ප්‍රමාණවත් තරමින් වටහාගෙන නොමැති දේශපාලන යථාර්තයක් වන්නේ තමන්ව බලයට පත් කිරීමට මුල් වූ සමාජ දෘෂ්ටිවාදය සහ පොදුජන අවබෝධය (common sense) තම දේශපාලන නායකත්වයෙන් සාපේක්ෂ ස්වායත්ත පැවැත්මක් සහිතව ක්‍රියාත්මක වන සිවිල් සමාජ ධාරාවක් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි; එසේම එම ධාරාව තම දේශපාලන නායකත්වයෙන් සාපේක්ෂ ස්වායත්තතාවක් සහිතව දිගටම ක්‍රියාත්මක වන බවයි. එබැවින්, වත්මන් ආණ්ඩුව සතුව තම හෙජමොනිය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වන තමන්ගේම බුද්ධිමය සදාචාරමය නායකත්වයක් නොමැත. ජවිපෙ පක්ෂ දෘෂ්ටිවාදය ජාතික දෘෂ්ටිවාදය බවට පරිවර්තනය කිරීමේ (ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිව හොත්, පක්ෂය රාජ්‍යය බවට පත් කිරීම) ප්‍රායෝගික වැඩ පිළිවෙලක් පවතින්නේද නැත. තමන්ව බලයට පත් කිරීමට දායක වූ 'අරගලයේ දෘෂ්ටිවාදය' සහ පොදුජන අවබෝධය සමග ජවිපෙ/ජාජබට ඓන්ද්‍රීය සම්බන්ධයක් නොමැති බැවින් එය පහසුවෙන් දේශපාලන ප්‍රායෝගිකවාදයේ නොහොත් තත්කාර්යවාදයේ (pragmatism) නාමයෙන් ගතානුගතික ජාතිකවාදී සහ සංස්කෘතික දෘෂ්ටිවාද සමග අනුගත වීම නිරීක්ෂණය කළ හැකිය. නමුත්, එම ගතානුගතික දෘෂ්ටිවාද හැසිරවීමේ උපකරණ, මාධ්‍යයන් සහ මානව සම්පත් පවතින්නේ අරගලය විසින් පරාජයට පත් කරන ලද පාදඩ ධනේශ්වරයේ ජනවාර්ගික ජාතිකවාදී කණ්ඩායම සතුව බැවින් ආණ්ඩුව මෙහිදී අරගලයේ බලවේගය වෙතින් සේම ජාතිකවාදී බලවේග වෙතින්ද එකවර ප්‍රතික්ෂේප වීමට ලක් වේ.

(5) ආණ්ඩුව මුහුණ දෙමින් සිටින මෙම දෘෂ්ටිවාදී සහ දේශපාලනික අභියෝගයට ඇති විසඳුම වන්නේ ජවිපෙ මෙතෙක් තම ඉතිහාසය පුරාම කරන්නට අසමත් වූ දෙය, එනම් මෙරට ජනවර්ගවාදී, ආගම්වාදී, සංස්කෘතික හෙජමොනියට එරෙහි ප්‍රති-හෙජමොනික ව්‍යාපෘතියක් ගොඩ නැගීමත්, ඒ සඳහා නව ඓන්ද්‍රීය බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් නිර්මාණය කිරීමත්, එහි පළමු පියවර ලෙස පක්ෂයට පිටතින් පවත්නා ප්‍රගතිශීලී බුද්ධිමය සංස්කෘතික ධාරාවන් සමග හුදු උපායික සම්බන්ධයක් නොව ඓන්ද්‍රීය සම්බන්ධයක් ගොඩ නගා ගැනීමත් ය.

(6) මේ කාරණය මෙරට ඉදිරි වසර කිහිපයේ දේශපාලන චල්‍යකාරීත්වය කෙරෙහි තීරණාත්මකව බලපානු ඇත. මන්ද යත්, දැනට නිරීක්ෂණය වන පරිදි, ඉදිරියේදී මෙරට දේශපාලනයේ ප්‍රධාන පසමිතුරුතා අක්ෂයෙහි ස්වභාවය සංස්කෘතික පිවිතුරුවාදය පිළිබඳ නව ගතානුගතිකවාදී පැන නැගීම් මගින් නිශ්චය කෙරෙන බවක් නිරීක්ෂණය වන බැවිනි. අන්ත දක්ෂිණාංශික නව-ගතානුගතිකවාදයේ දේශපාලන නැගීම සමකාලීන යුගයේ ගෝලීයව නිරීක්ෂණය කළ හැකි ප්‍රවණතාවකි.

සුමිත් චාමින්ද 1ඒ ගැන පසුව දීර්ඝව ලියමි.

Sumith Chaaminda

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න