Image

ඔහුගේ හඬ නොඇසෙන වෙසක් දිනක් නොඑනු ඇත; බෙග් මාස්ටර්

ඔහුගේ හඬ නොඇසෙන වෙසක් දිනක් නොඑනු ඇත; බෙග් මාස්ටර්

ඔහු ඉන්දියානු මුසල්මානු ජාතිකයෙකි. 1918 දෙසැම්බර් මස 05 වන දින මෙලොව එළිය දුටුවේ භාරතයේ දී. ඉන්දියාවේ සේලම් නුවර ප්‍රාථමික පාසැලක දෙමළ, උර්දු, ඉංග්‍රිසි, භාෂා ඉගෙන ගත්, කුඩා කල සිටම උර්දු ගීත ගායනයට කුඩා බෙග් දක්ෂ දරුවෙකි.

"බෙග්" යන්නේ පර්සියානු අරුත "රාජකීය" යන්නයි.

ලංකා ගමනය

1931 ඔහු ලංකාවට පැමිණෙන්නේ ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගි වීම සඳහා ය. තරුණ වියේ කළ ඔහුගේ ලංකාගමනය ඔහුට වාසනාව රැගෙන ආවේ ය.

මෙරට විසූ තම ඥාතීන්ගේ උදව් උපකාරයෙන් තරුණ බෙග් ලංකා පොලිස් සේවයට එක්විය. බම්බලපිටියේ පොලිස් නිවාසයේ තම ඥාති පොලිස් නිලධාරියෙකු සමග ඔහු ලංකා බ්‍රිතාන්‍ය පොලිස් සේවයේ රාජකාරි ආරම්භ කළේ ය.

ගවුස් මාර්ස්ටර් හමුව

බෙග්ට ලංකා ගමනේ දී වූ අනෙක් වැදගත්ම කරුණ වන්නේ ඔහුට ගවුස් මාස්ටර් හමුවීමයි.

මොහොමඩ් ගවුස් මාස්ටර් එවකට සිරිලක ප්‍රභූ පවුල්වල ප්‍රසංග සඳහා ගායනය සහ වාදනය ඉදිරිපත් කිරීමේ දී තරුණ බෙග්ට අවස්ථාව ලබා දුන්නේය .උර්දු බසින් හරි අපූරුවට ගීත ගායකා කළ බෙග් ගවුස් මාස්ටර්ගේ හිතේ අපූරුවට සනිටුහන් විය. එතෙක් උර්දු, හිංදි ගීත ගායනා කළ බෙග්ට උර්දු තනුවකට සිංහල ගී පදමාලාවක් ගැයීමට ලද අවස්ථාව මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනස් කල සංධිස්ථානයක් විය.

පළමු ගීතය

යූ, ඩී, පෙරේරා ගේ ඉල්ලීම මත උර්දු තනුවකට ලියූ සිංහල පද මාලාවක් බෙග් ට ලැබුණි. ඒ, " තුම් හෝ මුජුකෝ ප්‍රේම් සිතායා" තනුවට ලියැවුණ "කරුණා මුහුදේ නාමු ගිලීලා" නමැති පදමාලාව ය. එම සිංහල ගීතය මොහිදින් බෙග් ගේ ප්‍රථම ගීතය විය. එවකට ඔහු වයස දහ අටක, හද නමයක ගජ ඉලංදාරියෙකි.

ගවුස් මාස්ටර් හමුවීමෙන් පසු කොළොම්බියා සමාගම හඳුනාගත් බෙග් කොළොම්බියා සමාගමේ නිත්‍ය ගායකයා විය. ඔහු ගේ ප්‍රථම සිංහල ගීතය වූ "කරුණා මුහුදේ නාමු ගිලීලා" ඇතුළත් ගීත තැටි දස දහස් ගණනක් ඉතා ඉක්මනින් අලෙවි වීම බෙග්ට කොළොම්බියා සමාගමේ නිත්‍ය ගායකයා වීමට මග පෑදීය.

1945 සිංහල සිනමාවේ නොමැකෙන සංධිස්ථානයකි. ඒ, එතෙක් පැවති හිංදු, දමිළ අනුකරණ ගී තනුවලින් මිදී ස්වතන්ත්‍ර ගීත තනු එක් කළ ප්‍රථම සිනමා පටය එළි දැක්වූ වසරයි. ඒ "අශෝකමාලා" චිත්‍රපටයයි. එහි වූ "ප්‍රීතී ප්‍රිතී චන්ද්‍රා ලෝකේ නිසා ප්‍රියාවී" ගී ගායනයට බෙග් එක්විය. එතැන් සිට බෙග් සිංහල සිනමාවේ කෝකිලයා විය.

* ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා

* ආදරියේ රුචිරාණනියේ

*අමතක කරලමු පැරණි කතා

* අන්න සුදෝ අර පාට වලා

* දලු ලා ප්‍රේම ගහේ

* පරම රමණී අපේ ආලේ

* නාරිලතා පුෂ්පේ

* ප්‍රේම ගඟේ මැණික් වගේ

*ප්‍රේමා ලෝකේ නිවී ගියා

* ගිරිහෙල් මුදුනේ

* කෝටු කෑලි සොයාලා

* මා ඈත භවේදී මතකද හමුවූවා

* මල් ලෝකේ මහා භෘගං රාජයා

* මැණිකක් රකිනා නා රජිඳකු සේ

* මොකටද කාසි බාගෙ සොයා තියා

* ඔබ එනව බලා

* පෙම් මල් මාලා

* පෙම් පහන නිවී

* පුංචි පුතේ පුංචි දුවේ

* සුරතලියේ සුකුමලියේ

* තරු පායන ආකාසේ

* ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා...

පන්දහසක් පමණ වූ ඔහු ගැයූ ගී අතරින් කිහිපයක මේ. ප්‍රේම ගීත, දේශාභිමානී ගීත, විරහ ගීත මෙන්ම බෞද්ධ ගීත ද ඒ අතර වෙයි.

ඉස්ලාම් භක්තිකයෙකු වුව ද බෙග් මාස්ටර් තරම් බොදු බැති ගී ගැයූ ගායකයෙක් ලංකාවේ නැති තරම් ය.

එදා අංගුලි මාලා සිනමා පටය වෙනුවෙන් ගායනා කළ "ඔබෙ රාගී මන කැළඹෙිදෝ" ගීතය මෙරට වැඩිම වාර ගණනක් ගායනා කළ, වාදනය කළ ගීතය යැයි මට සිතේ.

''බුද්ධං සරණං ගජ්ජාමී ගීතය'' නොඇසූ නොගැයූ බෞද්ධයෙක් ඇත්තද...?

ශ්‍රී ලංකා පුරවැසි භාවය ලැබ...

1956 වසරේ 2500 වන බුද්ධ ජයන්ති වෙනුවෙන් "දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබළේ ලංකා" ගීතය ගායනා කළේ ඉස්ලාම් භක්තිකයෙකු වූ බෙග් මාස්ටර්ට ය.

බුද්ධ ජයන්ති ගීය ගායනයෙන් පසු එතුමාට සිරිලක පුරවැසි භාවය ලබා දුන්නේ එවකට අගමැති වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ය.

1987 වසරේ පකිස්ථානු අගමැති සියා උල් හක් ගේ ලංකා ගමනනේ දී ඔහු ඉදිරියේ උර්දු බසින් ගැයූ ගීත නිසාම අගමැති බෙග් ගේ හඬින් වශීවී බෙග්ට පකිස්ථාන් නිත්‍ය වාසය සඳහා කළ ආරාධනාව නිහතමානීව ප්‍රතික්ෂේප කළේ එතුමා සිරිකලට තිබූ දැඩි ස්නේහය නිසාම ය.

"පුංචි පුතේ පුංචි පුතේ ඉපදුණු සිරිලක් බිමේ

ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ"

ඔහු ගැයුවේ හදවතින්මය.

ඔහු, වැඩිම සිනමා පට සඳහා ගී ගැයීම හේතුවෙන් දීපශිඛා සම්මානය දිනා ගත්තේ ය.

සරසවි සම්මානයෙන් පිදුම් ලබා...

අල්ලපු ගෙදර සිනමා පටයේ ගැයූ "පියා සලයි" ගීතය වෙනුවෙන් 1964 වසරේ බෙග් මාස්ටර් සරසවි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඔහු ගේ හඬ සිරිලක පුරා සදාකාලයටම ජීවමාන වනු ඇත.

"ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා"

නොගයන සිංහල අවුරුද්දක් අපට තිබේ ද....? සිංහල අවුරුද්දේ ඒ ගීය ගැයෙන තුරු බෙග් හඬ ධරණී තලයේ පවතිනු ඇත.

* ඔබෙ රාගී මන කැලඹේදෝ

* දුක තේරේ සංසාරේ

* දුකේ හෝ සැපේ

* මේ ලෝක ධර්මේ

* සකල සතම බොදු බැතියෙන්

* සිරිපාද හිමෙි දෙයියන්ගෙ රටේ

* සුව දේ මට සීතල සුළඟ පවා

* බුදුන්ගේ අමා ධර්මේ

* බුදුන්ගේ උතුම් ධර්මේ

* සම්මා සම්බුදු පූජිත

* මල් සුඟන්දේ දම් සුඟන්දේ

* හිම බිම පාලන සුරිඳේ

වෙසක් මංගල්‍යය, පොසොන් උත්සවය, කඨින පිංකම, ධර්ම දේශනය, පිරිතක්, දානයක් කුමක් වුව ද බෙග් මාස්ටර්ගේ බොදු බැති ගීයක් කොතැනක හෝ වාදනය වෙනු ඇත. ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයට කළ අපමණ මෙහෙය මේ පුංචි සටහනකින් ලියා විග්‍රහ කළ නොහැකි ය. කොතෙක් තරු බිහිවුව ද බෙග් වන්නෙක් කිසිදාක යළි බිහි නොවනු ඇත. ළදරු, තරුණ, ළාමක තරු දස දෙස දිලෙන සංගීත ගගන තලයේ බෙග් සඳකි.

නේක තරුවලට ගරු නම්බුනාම කිත් ප්‍රශංසා දහසින් බැදි පියලි පුද දෙද්දී යුග ගණනාවක් ආලෝකමත් කළ බෙග් නම් වූ පූර්ණ චන්ද්‍රයා වෙනුවෙන් ඉදිවූ මං මාවත් නැත, ඔහු වෙනුවෙන් ඉදිවූ සමරු පලක නැත, ඔහු වෙනුවෙන් ස්මාරක නැත.

එහෙත් මොහිදින් බෙග් නාමය මෙරට ජනයා අතරේ සදාකාලික වනු ඇත.

මංජු නැදගමුවManju Nadagamuwa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න