වර්තමාන සමාජ ක්‍රමය දෙස බලන ඕනෑම නිරීක්ෂකයෙකුට පෙනී යන පැහැදිලි සත්‍යයක් පවතී. එනම් අප ජීවත් වන්නේ ශිෂ්ටාචාරමය වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් අතිශය දරුණු ලෙස බිඳ වැටුණු අර්බුදයම තම පැවැත්ම කරගත් සමාජයක ය. දූෂිතයින් සහ අපරාධකරුවන් පද්ධතියේ ඉහළ ම තැන්වල වැජඹෙමින් නීතිය සහ යුක්තිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන විට සාමාන්‍ය පුරවැසියාට තමන් ගේ දෛනික ජීවිතය පසෙක තබා යුක්තිය ඉල්ලා මහමග හඬ නැගීමට සිදුව ඇත. මෙය හුදෙක් සිවිල් වැසියන් ගේ වරදක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ම සහ පාලන ව්‍යුහයේ ම පවතින පද්ධතිමය බිඳවැටීමකි.
මානව පැවැත්මේ මූලිකම අවශ්‍යතා තීරණය වන සාධක
මෙහි ඇති භයානකම දෛවෝපගත ඉරණම වන්නේ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සහ තමන් ගේ අයිති වෙනුවෙන් ජනතාව ව්‍යුහාත්මක සටන්වල නිරත වන අතරතුර ඔවුන් ගේ ජීවන බර කරවටක් දක්වා පැමිණීමයි. පුරවැසියා රාජ්‍යයේ වැරදි නිවැරදි කිරීමට උත්සාහ කරන විට ඔහු තමන් නොදැනුවත්ව ම දරුණු ආර්ථික අගාධයකට ඇද වැටෙමින් පවතී. සිවිල් සිදුවීම් වෙනුවෙන් අන් අයගේ අසාධාරණකම් වෙනුවෙන් හඬ නැඟීමට සාමාන්‍ය මිනිසාට කොපමණ නම් ශ්‍රමයක් සහ කාලයක් වීදි මත දියකර හැරීමට සිදුව තිබේද?
මානව පැවැත්මේ මූලිකම අවශ්‍යතා වන ආහාර, නිවාස, සෞඛ්‍ය සහ වස්ත්‍ර යන සියල්ල අද තීරණය වන්නේ බලශක්ති සහ දේශපාලන සාධක මතය. ජීවන වියදම අහස උසට ඉහළ යන විට එය හුදෙක් ආර්ථික විද්‍යාත්මක දර්ශක හෝ සංඛ්‍යාලේඛන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය සමස්ත පවුල් සංස්ථාවක, මානුෂීය සබඳතාවල සහ මිනිසා සතු ආත්මීය ගෞරවයේ බිඳවැටීමයි.
පාලක පන්තිය විසින් කරනු ලබන නින්දිත විහිළුව
පරිණාමීය හා සමාජයීය විද්‍යාත්මක කෝණයකින් බලන කල මෙහි ඇති තියුණුම යථාර්ථය වන්නේ මෙය යි. ආර්ථික බරින් මව්පියන් සහ දරුවන් එකලෙස මිරිකී යන විට මිනිසා තමන් වසර දහස් ගණනක් තිස්සේ ගොඩනගා ගත් ශිෂ්ටාචාරමය සදාචාරය පසෙක තබා පැවැත්ම සඳහා වන මූලික සහජ බුද්ධියෙන් පමණක් ක්‍රියා කරන්නට පටන් ගනී. බඩගින්න සහ අගහිඟකම දරාගත නොහැකි තැන මිනිසා ස්වභාවයෙන් ම නීතියෙන් පිට පැනීමට පෙලඹෙයි. සාගින්න සහ අනාරක්ෂිතභාවය හමුවේ නීතිගරුකභාවය නමැති මතුපිට සිවිය දියවී යන්නේ නිරායාසයෙනි.
වඩාත්ම සංවේගජනක සහ දැඩි විවේචනයට ලක්විය යුතු තත්ත්වය නම් මේ දරාගත නොහැකි ආර්ථික පීඩනය හමුවේ දරුවන් පමණක් නොව අවසානයේ මව්පියන් පවා මේ කුරිරු අනුකම්පාවෙන් තොර වෙළඳපොළ සමාජයේ විවිධ දේ සඳහා විකිණීමට තීරණය කිරීමයි. ඔවුන් තමන්ගේ ශ්‍රමය, කාලය, ආත්ම ගෞරවය සහ සමහරවිට තමන්ගේ ශරීරය පවා විකිණීමට පෙළඹෙන්නේ ජීවත් වීමේ වෙනත් මඟක් නොමැති බැවිනි. මිනිසා තමන්වම ප්‍රාග්ධනයක් ලෙස වෙළඳපොළට බිලිදිය යුතු සමාජයක ධර්මය, නීතිය, සංස්කෘතිය හෝ සදාචාරය ගැන කතා කිරීම පාලක පන්තිය විසින් කරනු ලබන නින්දිත විහිළුවක් පමණි.
බඩගින්නෙන් පෙලෙන ආත්ම ගෞරව වෙන්දේසිය
රාජ්‍යයේ අසමත්කම සහ ව්‍යුහාත්මක අර්බුදය නිසා අද පොදු ජනතාවට උරුම වී ඇත්තේ එක පැත්තකින් යුක්තිය වෙනුවෙන් සටන් කරන අතර ම අනෙක් පැත්තෙන් බඩගින්නේ සහ ආර්ථික වහල්භාවයේ මිරිකී විනාශ වීමට සිදුවන ඛේදනීය ඉරණමකි. බඩගින්නෙන් පෙලෙන ආත්ම ගෞරවය වෙන්දේසියේ දමන සමාජයකින් කිසිදිනෙක නීතිගරුක, බුද්ධිමත් හෝ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බිහි කළ නොහැකි බව සමස්ත ක්‍රමයම වටහා ගත යුතුය.

මෙත් මල් පිබිදේවා...!!
කැකිරාවේ සුදස්සන හිමි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
