Language Switcher

V2025

ලාභයෙන් නැව් පවා මිලදී ගත් ඛනිජ තෙල් සංස්ථාව අද බංකළොත් කරලා - විජිත

ලාභයෙන් නැව් පවා මිලදී ගත් ඛනිජ තෙල් සංස්ථාව අද බංකළොත් කර ඇති බවත් කොරෝනා වසංගතය අස්සේ ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න ආණ්ඩුව සූදානම් වෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
 
ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
1961 ට පෙර තත්ත්වය සහ පසු තත්ත්වය !
 
1961 වෙනකොට අපේ රටට තෙල් ආනයනය, ගබඩා කිරීම සහ බෙදාහැරීම ඇතුලූ සියලූ කටයුතු පාලනය කළේ ෂෙල්, එසෝ, කැල්ටෙක්ස් කියන බහුජාතික සමාගම්. මේ සමාගම් ලෝකය පුරාම තෙල් ඒකාධිකාරය පවත්වාගෙන යනවා. 50 දශකය අග භාගයේ ඇතිවුණු ප‍්‍රගතිශීලී ජනතා නැගිටීම් එක්ක එවකට තිබුණු ආණ්ඩුවලට තෙල් පිළිබඳ ඒකාධිකාරී බලය රජය අතට ගන්න සිදුවුණා. ජනසතු කිරීමේ ව්‍යාපාරවල ප‍්‍රතිඵලයක් විදිහට 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සම්මත කරගත්තා. තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම, වගේම අපනයනය කියන සියලූ කටයුතු ඛනිජ තෙල් සංස්ථාවට පැවරුවා. ඒ අනුව පිරිපහදුවත් පසු කාලයකදී ස්ථාපිත කළා. මේ නිසා මුල් වකවානුවේදී අති විශාල ලාභයක් ලැබුවා. 1969 වසරේ සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාගත් ආදායමෙන් තෙල් ආනයනයේ වියදමෙන් 25%ක් ඉතිරි කරගත්තා. කොළොන්නාවේ ලිහිසි තෙල් යන්ත‍්‍රාගාරයෙන් ඝන තාර, ඉටි පන්දම්, පොහොර, ඇතුළු අතුරු ඵලයන් රැුසක් නිෂ්පාදනය කළා. ඒ නිසා ලාභය තවත් විශාල වශයෙන් වැඩිවුණා. ඒ ලාභයෙන් විතරක් එදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැව් 3ක් මිලදී ගත්තා. 
 
ලාභ ලැබූ තෙල් සංස්ථාව !
 
1976 දක්වා ලාභ ලබමින් තිබුණා. 76දී තෙල් ගේන්න ගිය සල්ලිවලින් 45%ක් අතුරු නිෂ්පාදන අපනයනයෙන් උපයා ගත්තා. එවැනි අසීමිත ලාභ ලබන ආයතනයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව පැවතුණා. මේ කර්මාන්ත ශාලා නිසා විශාල රැකියා ප‍්‍රමාණයක් ලැබී තිබුණා. ඒ නිසා ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූවා. නමුත් 1987 එක්සත් ජාතික පක්‍ෂය ඉන්දියාවත් එක්ක අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමත් එක්ක ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවර දීමත් එක්ක පාවාදීම ආරම්භ කළා. එදා ඉන්දියාව රටේ ජාතික ප‍්‍රශ්නයට මැදිහත්වීමෙන් පළාත් සභා පෙන්නලා ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ටික ලබාගන්න ඒ ගිවිසුම පාවිච්චි කළා. ඒ පළමු පාවාදීමෙන් පස්සේ 2002 වසරේදී නැවත මේ පනත සංශෝධනය කර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන්ම රජයේ තෙල් ඒකාධිකාරී බලය පුද්ගලික අංශයට පැවරීමේ මුල පිරුවා. එදා 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත ගෙනත් 61 පනතේ මූලික හරය වෙනස් කළා. ඒ අනුව 61 අංක 28 දරන පනතේ 5කේ.,  5ජේ. ආදී වශයෙන් වගන්ති ගණනාවක් සංශෝධනය කළා. ඒ අනුව 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් තාවකාලික විධිවිධාන පනත සම්මත කරගත්තා. මේ ආකාරයට පනත් දෙකක් සම්මත කරගෙන අවුරුදු දෙකක කාලයක් සඳහා බලශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවා ගත්තා. 
 
IOC ට ලැබුණේ තාවකාලික බලයක් !
 
පවතින තත්වය නිරීක්‍ෂණය කරලා පුද්ගලික ආයතනවලට ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේ බලය පැවරුවා. රජය සතුව තිබුණු ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරයන් පවාදීම මේ සමග ආරම්භ කළා. නමුත් මෙයින් ලැබුණේ තාවකාලික බලයක් විතරයි. අවුරුදු දෙකක් සඳහා කමිටුව පත්කළ නිසා ඒ කාලය තුළ බලපත‍්‍ර 3ක් දීමේ හැකියාව ලබාගත්තා. ඒ අනුව අයි. ඕ.සී. සමාගමට අවුරුදු 20ක කාලයක් සඳහා පමණක් බලපත‍්‍රයක් ලබාදුන්නා. මේ බලපත‍්‍රය දුන්නේ 2003දී. ඒ අනුව 2023දී අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. 
 
ගම්මන්පිල කියන ව්‍යවසායකයා !
 
වර්තමානය වනවිට උදය ගම්මන්පිල මහත්මයා මේ පනතේ සංශෝධනය කරන්න යන්නේ මොනවාද? අරමුණ විදිහට පෙන්වන්නේ ”මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය” කියන සියලූ කර්තව්‍යයන් වෙනත්  ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබාගැනීමටයි. කොවිඞ් සංචරණ සීමාවලට ජනතාව කොටුවී තිබියදී ගම්මන්පිල දේශපේ‍්‍රමී කඩතුරාවට මුවාවී මේ දේශද්‍රෝහී පනත් සංශෝධනය ගෙනත් තිබෙනවා. මේ අනුව ඇමතිවරයා අතට ඛනිජ තෙල් සම්බන්ධ සියලූම බලය පවරාගන්න යනවා. ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලූත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ  පනත සංශෝධනය කර අලූත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ  රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා. 
 
අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙනකොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත් අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරාගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි උවමනාව ඒක. අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළවැනි උවමනාව. ඊළඟට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලාබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබාදෙනවා. සිනෝපෙක් කොම්පැණියෙන් ගෙන්වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි.
 
පසුගිය කාලයක් තිස්සේ වංචා දූෂණ !
 
පහුගිය කාලයේ කළ වංචා දූෂණ වල  ප‍්‍රතිඵලයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුව, මහජන බැංකුව, කියන ප‍්‍රධාන බැංකු දෙකට ඩොලර් මිලියන 3300ක ණයක් තියෙනවා. රු. කෝටි 66,000ක් විතර. හිටපු පාලකයෝ තෙල් සංස්ථාව පාඩු කරලා දැන් වෙනකොට කෝටි 66,000ක ණයකරුවෙක් කරලා. එදා නැව් 03ක් තිබුණු තෙල් සංස්ථාවේ අද තත්වය ඒක. 
තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීම එක පැත්තකින් අයි. ඕ.සී. සමාගමටත් අනෙක් පැත්තෙන් චීන සමාගමටත් ලබාදෙනවා. ඊට අමතරව වෙනත්  ඕනෑම බහුජාතික සමාගම්වලටත් අවසර දෙන්න හැකියාව ලබාගන්නවා. මෙතෙක් රාජ්‍යය සතුව තිබුණු තෙල් ඒකාධිකාරයේ සියලූ බලතල පුද්ගලික අංශයට දෙනවා. මේ නිසා තෙල් සංස්ථාව මුළුමනින්ම විනාශවී යනවා. අලූත් ආයෝජනයක් ගේන බව කීවාට තාමත් ශක්‍යතා අධ්‍යයන වාර්තාව වත් හදලා නැහැ. නමුත් හදිසියේ ජනතාව රවට්ටලා අපේ ජාතික සම්පත් දැනට තියෙන ටිකත් විකුණන්න උත්සාහ කරනවා. 
 
සපුගස්කන්දේ පිරිපහදු සංකීර්ණයේ දැවිතෙල් වැහි කාලෙට පිටාර ගලන එක වළක්වා අවට ජනතාවගේ ආරක්‍ෂාව හදන්නවත් මේ ඇමතිටත් ආණ්ඩුවටත් බැහැ. ගංවතුර ඉවර වෙලත් ඒ අවට ජනතාව පීඩා විඳිනවා. ගෙවල්වල කළුතෙල් තට්ටු බැඳිලා. ඒ තත්වයට විසඳුම් දෙන්නවත් බැරි ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපෘති ගැන බොරු කතා කියනවා. ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආයෝජන සමුලූවේදී කිව්වේ 2030 වෙනකොට ලංකාවේ බලශක්ති නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියට මාරු වෙනවා කියලා. 
 
ගම්මන්පිල ඇමතිවරයා ගේන මේ කැබිනට් පති‍්‍රකාවත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයටත් පරස්පර විරෝධීයි. ලෝකයේ අද වෙනකොට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත‍්‍රයට මාරුවෙමින් යනවා. නමුත් ගම්මන්පිල ඇමතිවරයා අවුරුදු 20 කාලයකට බහුජාතික සමාගමකට තෙල් සංස්ථාව පවරා දෙන්න යනවා. 
අබලන් වෙච්ච අපේ පිිරිපහදුව තියාගෙන ඔය කියන ආයෝජකයත් එක්ක අපිට තරග කරන්න පුළුවන්ද? හම්බන්තොට වරායේ හදන පිරිපහදුවත් එක්ක අපට තරඟ කරන්න පුලූවන්ද? මේ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුළුමනින්ම අභාවයට යනවා. මේ පනත සංශෝධනය කරන්නේ එක අතක තිබෙන පෑනට බලය ගන්නයි. ඒ පෑන විකණෙන මිල අනුව, එහෙම නැත්නම් සාක්කුවට වැටෙන ප‍්‍රමාණය අනුව සියල්ල තීරණය කරන්න. රටම මෙහෙයවිය හැකි බලශක්තිය එක පෑනකට ඌණනය කිරීමයි මේ කරන්නේ. මේක ඉතාම භයානකයි. 
 
බොරු දේශප්‍රේමියා !
 
බොරු දේශපේ‍්‍රමියෙක් වෙච්ච ගම්මන්පිල මහත්මයා රටේ ජාතික ආරක්‍ෂාව පවා අනතුරට හෙළනවා. බලශක්තිය කියන්නේ රටේ ආරක්‍ෂාවේ කොටසක්. කවර හෝ සමාගමකට පුුළුවන් රටක මුළු කි‍්‍රයාකාරිත්වයම නතර කරන්න. මේකෙන් සිද්ධ වෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව බිලිදී ඛනිජ තෙල් සංස්ථාවත් මුළුමනින්ම අභාවයට යැවීමයි. මේ අපරාධයට ඉඩ දෙන්න එපා කියලා රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ජනතා ද්‍රෝහී, දේශද්‍රෝහී ආණ්ඩුවේ මේ කි‍්‍රයාකාරිත්වය නතර කරන්න පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.