Language Switcher

V2025

යථාවාදී තථාකාරී වෙන්න - ඥානසාර හිමි : මන්ත්‍රී ධූරය නම් දෙන්න බෑ - රතන හිමි

තමන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැතැයි අපේ ජන බල පක්ෂයේ පත්කළ මන්ත්‍රී  අතුරලියේ රතන හිමි පවසති.

උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවූ වාර්තා පිළිබඳව විමසූ විට උන්වහන්සේ එසේ පවසා ඇතතමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එසේ ඉවත් වීමට කිසිවකු සමග කිසිදු එකඟතාවයකට තමන් පැමිණ නැති බවත් පවසන උන්වහන්සේ සම්පූර්ණ ධුර කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරන බවද සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරන්නේ ජූලි මස පස් වැනිදාට රතන හිමියන්ගේ එකගතා කාලය අවසන් බවත් රතන හිමියන් කරන්නේ කුමක් දැයි බලා සිටින බවත්ය.

එකඟතාව අනුව නම් උන්වහන්සේ දිවුරුම් දී මාස 06කින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවත් ඥානසාර හිමි පවසයි.මේ සම්බන්ධව ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකළ ප්‍රකාශය පහත දැක්වෙයි.

ඥානසාර හිමිගේ ප්‍රකාශය !

හාමුදුරුවනේ, ආදරණීය සිංහලයිනි, ආදරණීය ජාතිමාමක සහෝදර සහෝදරියනි,

දිගු කලකට පස්සේ අපේ නිහැඬියාවට හේතුව මොකක්ද යන්නට උත්තරයක් දෙන්න මං හිතන්නේ දැන් හොඳම කාලය එළැඹිලා තියෙනවා.

පහුගිය දින ගණනාවක් මුළුල්ලේ අපි දැක්කා "වට්ස් අප්" ජාලාවල වගේම "මුහුණු පොත" තුලත් වෙනත්.. වෙනත් මාධ්‍යවලත් " ඥානසාර හිමි හොයාදෙන්න. අතුරුදන් වෙලා" ආදී වූ නානාප්‍රකාර වූ විවේචන, චෝදනා, නින්දා අපහාස එකතු කරමින් අපි හොයන්න ලොකු මහන්සියක් අරගෙන තිබුණා. අපි කියන්ඩ ඕනි 2015 ඉදලා මේ මොහොත දක්වා කාලය ගත්තොත් මට අන්තර්ජාල භාවිතය තුළ තියන ඉඩ සියල්ලම ඇහිරිලා තිබෙනවා. =ෆේස්බුක් එකක් පාවිච්චි කරන්න විදිහක් නෑ. මගේ නම ලියන්න විදිහක් නෑ. පින්තූරයක් දාන්න, කතාවක්... අදහසක් ලියන්න,  ඒවා හුවමාරු කර ගත්තොත් වාරණයට ලක් වෙනවා.  ඒ ප්‍රොෆයිල් තහනම් වෙනවා. මේ වගේ නොයෙක් ක්‍රියාදාමයන් පහුගිය කාලය පුරාම තිබුනා.  ඒ වගේම අනෙක් මාධ්‍ය ගත්තත්... මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවහොත් කිහිපයක් වූ මාධ්‍ය හැරෙන්න බොහෝ මාධ්‍ය අපේ මතය ජනගත කරන්නට අවස්ථාවක් ලබා දුන්නේ නෑ... මන් දන්නෑ මොකක්ද මේකට හේතුව කියලා. 

මම හිතනවා තවදුරටත් නිහඬව ඉන්න පුළුවන් තැනක නොවෙයි අපි ඉන්නේ. මේ රටට දුන්න බලාපොරොත්තුවක් තියෙනවා. ජාතියට  දුන්න නායකත්වයක්  තියෙනවා.  අපේ අරමුණ දැකලා ඒ වෙනුවෙන් පෙනී හිටපු විශේෂයෙන් නිසරනාධයාසයෙන් පෙනී හිටපු විශාල පිරිසක් තාම බලාගෙන ඉන්නවා මොකක්ද අපේ හාමුදුරුවන්ට උනේ? කවුරු හරි මොනවා හරි දීලා කට වහලා ද ? ආණ්ඩුවෙන් කට වහලා ද ? එහෙම නැත්තං කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවද ? එහෙම නැත්නම් පෝස්ට් සිටියේ සල්ලි හම්බෙලා ද ? ඔය වගේ නොයෙක් විදියේ  කතා  ඇතිවීම එක අතකට ස්වභාවිකයි.  ඒ නිසා සාකච්ඡාවක් කරන්ඩ තීරණය කෙරුවා ඒ සාකච්ඡාවයි මේ දිගහැරෙන්නේ.

ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලැබිලා දෙන්න නියමිතයි?

ඊයේ, පෙරේදා, අද වෙනකොට මාධ්‍ය තුළ වාර්තා පළ වුණා... අන්තර්ජාල මාධ්‍ය තුළ එකිනෙකා අතර අදහස් හුවමාරු වුණා...  ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලැබිලා දිවුරුම් දෙන්න නියමිතයි  කියලා.  ඇත්ත වශයෙන්ම ඔබ කවුරුත් දන්නවා ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ඒ මහ මැතිවරණය සඳහා අපි අපේ ජනබල පක්ෂය යටතේ ඉදිරිපත් වුණා. මම කුරුණෑගලින් ඉදිරිපත් වුණා. නමුත් මගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වුණා. කුරුණෑගලින් වගේම කොළඹ කළුතර මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක 4ක් නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.  ඒ  වැඩපිළිවෙළ හැදුවේ රතන හාමුදුරුවෝ. එහි විවාදයක් නැහැ. අපි එකතු වුණේ පුද්ගලයන් දිහා බලලා නෙමෙයි. ප්‍රතිපත්ති මොනවාද ? වැඩපිළිවෙළ මොකක්ද ? අපේ අරමුණු මොනවද ? කොහොමද සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ මේ සිංහලයන්ට බෞද්ධයන්ට එරෙහිව උද්ගත වෙමින් ඇති කෙළවරක් නැති මේ සංස්කෘතික ප්‍රශ්න ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් මේ හැම අතකින්ම ඇතිවෙලා තියෙන අභාග්‍ය  සම්පන්න තත්වයන් යම් පමණකට හෝ සමනය කර ගැනීම සඳහා මොකද්ද අපට කළ හැකි කාර්යභාරය? අපට ඇති ඉඩකඩ කුමක්ද? යන්න සලකලා බලලා තමයි  එකතු වුණේ. අපි අවසාන වශයෙන් මොන සමාජ බලවේග  හැදුවත් ජාතික වැඩපිළිවෙලවල් හැදුවත් දහස් ගණනින් දසදහස් ගණනින් ඔළුගෙඩි එක්තැන් කර සමුළුව පැවැත්වූවත්  දවසක් ගානේ.. දවසක් නෑර... මාධ්‍ය හමුව පැවැත් වූ වත්... උත්තරයක් නෑ. අවසානයේ දේශපාලනිකව බලවත්වීම පමණයි අපට තියෙන උත්තරය. අපට එතැන  විතරයි කතා කරන්න පුළුවන්. එතන දේශපාලනිකව බලවත් වීම පමණයි කල යුත්තේ කියන දේ තමයි මේ මහ මැතිවරණයට ඉදිරිපත්වීම ඇතුලේ තිබුනේ. මන්ත්‍රී ආසනයක් ලබාගන්න ඕනෑ කියලා දෘඩතර අධිෂ්ඨානයක් තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි.

ජාතික බලමු ගොඩනඟන්න  නායකත්වය දීම නිසා දණ්ඩනීතියේ බන්ධනයට පත්වුනා.

අපිට බණක් දහමක් කියලා අපේ ජීවිත සවි කරගන්න පුළුවන්. හැබැයි අපි ඒ විදිහට ජීවත් වෙන ගමන් මේ ජාතිය හමුවේ තියෙන අනේක විධ දුක්ඛ දෝමනස්සයන් දැකලා, සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය දැකලා, ඒවාට එරෙහිව වැට බඳින්න.. ඒවාට එරෙහිව හඬ නගන්න.. ඒවාට එරෙහිව ජනයා පෙළගස්වන්න... ඒවාට එරෙහිව ජාතික බලමු ගොඩනඟන්න.. ඒ නායකත්වය දීම ඇතුලේ අවසානයේ සිද්ධ වුණේ දණ්ඩනීතියේ බන්ධනයට පත්වීම පමණයි. මේ මොහොතේත් උසාවි වල නඩු  පහළොවකට එහා ගිය ප්‍රමාණයක් තිබෙනවා. අනතුරක් පෙන්වා දෙන්න ගියත් අපේ සතුරු බලමුළු ඔවුන්ගේ රක්ෂණය සඳහා උසාවියට පොලිසියට යනවා.  වෛරී ප්‍රකාශන  ලෙස මේවා විග්‍රහ කරනවා.  අවසානයේ දී අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතයෙන් වැඩි කාලයක් උසාවි වල පොලිසිවල ට උත්තර දෙමින්  ප්‍රශ්නයට උත්තර හොයන්න තියෙන ඉඩකඩ අහුරලා අපේ කාලේ නාස්ති කරන්න.

සිංහලයන්ගේ බලාපොරොත්තු දැන් මේ ජනාධිපතිවරයා යටතේ සම්පූර්ණ වෙලාද?

අපේ ජන බල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවුන තත්ත්වය කවුරුත් දන්නවා. ඒවා නැවත නැවත කථා කිරීම ඵල රහිතයි. මන්ත්‍රී ධුරයට මොකද උනේ? ලේකම් හාමුදුරුවෝ මොකක්ද කළේ? රතන හාමුදුරුවන්ට ලේකම් හාමුදුරුවෝ සමග මොකක්ද තිබුණු සම්බන්ධතාවය? මේවා ඕන තරම් පහුගිය කාලේ සාකච්ඡා වුණා. ඒවා ගැන තවදුරටත්  කතා කරලා වැඩක් නෑ. කාටවත් දොස් පවරලා  කාටවත් දොස් කියලා වැඩක් නෑ... ඒක නෙමේ මෙතන වැදගත් වෙන්නේ.. අපි කවුරුත් සිංහලකමට ආදරේ කරන සිංහලයන් හැටියට බෞද්ධකමට ආදරේ කරන බෞද්ධයන් හැටියට සරලව කිව්වොත් ජාතිකවාදී ව හිතෙන මිනිස්සු එක මිටකට ඇවිල්ලා සිංහල ජාතිකවාදී අරමුණ.. සිංහල ජාතිකවාදී වැඩපිළිවෙළ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කර ගත්තා. සිංහල නායකයෙක් ඕනේ කියලා පහුගිය කාලේ මතවාදයක් ගෙන ගිය එක බොරුවක් නෙවෙයි. UNP වෙන්න පුළුවන්.. ශ්‍රී ලංකා වෙන්න පුළුවන්.. වෙන වෙනත් පක්ෂයක වෙන්න පුළුවන්.. පක්ෂ පාට කන්නාඩි ගලවල ඒ සිංහලත්වය වෙනුවෙන් එය ජාතික අභිලාෂය වෙනුවෙන් රට නායකයෙක් ඕනේ කියලා වැඩ කෙරුවා. ඒක ආයේ හංගන්න දෙයක් නෑ.. ඒක මේ මග ද? අර මඟ ද ? වියත් මග ද?  කියලා අදාල නෑ.. පොදුවේ කවුරුත්, සමහර වෙලාවට පිණ්ඩපාතෙන් ජීවත්වන, භාවනායෝගීව සිටින හාමුදුරුවරු මේකට දායක වුණා. ඒ වගේම අසපුවේ ඉන්න හාමුදුරුවෝ මේකට දායකත්වය දුන්නා. ඒ වගේම යෝගාශ්‍රමයේ හාමුදුරුවරු මේකට දායකත්වය දුන්නා. කේන්දරය බලපු හාමුදුරු මේකට දායකත්වය දුන්නා... ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවරු මේකට දායක වුනා.. ඒ ඔක්කොගෙම ප්‍රයත්නය අවසාන විග්‍රහයේ දී ජයග්‍රහණය කෙරුවා සිංහල බෞද්ධ නායකයෙක් රටේ ජනාධිපති පුටුවේ වාඩි කරවීම තුළින්. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒ සිංහලයන්ගේ බලාපොරොත්තු දැන් මේ ජනාධිපතිවරයා යටතේ සම්පූර්ණ වෙලාද? හැමෝම කියන්නේ නෑ.. විශාල කලබගෑනියක්.. චෝදනා නොකරන්නෙක් හොයාගන්න නැති තරම්.. 

පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය වුනේ ඇයි ?

එතකොට මහ මැතිවරණයේදී අපි මොකද කෙරුවෙ? පාර්ලිමේන්තුව තුළ ආසනයක් දිනා ගන්න.. ආසන දෙකක් තුනක් දිනාගන්න මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් උනා. ඊට හේතුව තමයි අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ ජාතිය හමුවේ තැබූ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්න. අපේ අධිෂ්ඨානය ජයග්‍රහණයෙන්  කෙළවර කරගන්න.  මොනවද අපිට තිබුණු ප්‍රශ්න? මේ රටේ බෞද්ධයන්ට තිබුණු ප්‍රශ්න? අන්යගමීකරණය. 2000 වර්ෂයේ අපි මේ ගැන කතා කරන්න පටන් ගද්දි  තිබුණේ සංවිධාන 103 යි.  අද ඒ සංවිධාන 500 දක්වා වැඩි දියුණු වෙලා තියෙනවා. අද මේ ත්‍රිපිටක පනත් ගේන්න උත්සාහ  ගැනීම තුළින් බෞද්ධ කණ්ඩායම් ආතතියට පත් වෙලා තියෙනවා. මේ වෙලාවේ කරන්න ඕනේ ත්‍රිපිටක පනත් ගෙන එක නෙවෙයි. ඒ අයට අමතක වෙලා තියෙනවා ක්‍රිස්තියානි පනතට මොකද වෙලා තියෙන්නෙ කියලා සාකච්ඡා කරන්න. ඉස්සෙල්ල අපි ගේන්න ඕනි සදාචාර විරෝධී විදියට සහ නීති විරෝධී විදිහට මේ රට තුළ ක්‍රියාත්මක කරන අන්‍යාගමිකරණ වැඩපිළිවෙළ නවත්වා ගැනීම සඳහා පනතක්. ඒ සඳහා කිසිම කතාවක් නෑ. අපි අවුරුදු දහයක් තිස්සේ.. අභූත චෝදනාවට ලක් වෙමින්.. නඩුහබ දා ගනිමින්... හිරේ විලංගුවේ වැටෙමින්.. අපි කතා කරපු විශාල ආක්‍රමණයක්, අන්තවාදයක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා ඉස්ලාම් නාමයෙන්. අපි හැමදාම කියනවා මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් සමග අපිට කිසිම ගැටළුවක් ඇත්තේ නෑ.  ඒ මිනිස්සුත් විනාශ කරගෙන ගොඩනැගෙන බිහිසුණු අන්තවාදය, මූලධර්මවාදය, සංස්කෘතික ඝාතන කල්ලි අපි තීරණාත්මකව පරාජය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි බලමු ගොඩනඟන්න ඕන. 

ඉදිරි වැඩ පිළිවෙල 

මේවා  ප්‍රායෝගිකව, දේශපාලනිකව,සමාජීයව, නෛතිකව හැම අතින් ම පරාජය කරන්න පෙරමුණු සකස් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මන්ත්‍රී ධුර අරමුණ තිබුණේ ඒකට. මේ දක්වා එළියෙ මේ ගැන කතා කරන්න ගිහිං නඩු පහළොවක් විස්සක් වැටිලා තියෙනවා. පාර්ලිමේන්තුවට යන්න ඕනි කිව්වේ පොහොර ගැන කතා කරන්නවත්, පොර්ට් සිටි ගැන කතා කරන්නවත්, වෙන වෙන අටමගල් ගැන කතා කරන්නවත් නෙවෙයි. රටේ හැමදාම ප්‍රශ්න කෝටියක්. හැබැයි අපි අධිෂ්ඨානශීලී වුණා අවුරුදු විස්සක් එක දිගට එක ප්‍රශ්නයක් ගැන කතා කරන්න. අමාත්‍යාංශයක් නෑනේ මේ රටේ සංස්කෘතික ආක්‍රමණය ගැන හොයන්න. මේ රටේ ගිලිහිලා යන ජාතික උරුමයන් ගැන, සිංහලයාගේ අයිතිවාසිකම් ගැන, ඒව ගැන කතා කරන්න කවුරුත් නෑ. අනෙක් ඒවාට වෘත්තීය සමිති, අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු ආයතන ඕනතරම් තියනවා. හැබැයි සිංහලයා ගැන කතා කරන්න වුර්තිය සමිතියක් නෑ. ඒක හින්දා ඉස්ලාම් අන්තවාදය තීරණාත්මකව පරාජය කිරීම සඳහා මේ මැති සබයේ මතවාදයක් හදන්න, ඔවුන් සමග වාද විවාද කරන්න, ඔවුන් නොදන්නා කරුණු සභාගත කරන්න, ඒ තුළින් නීති හදන තැනට බලපෑමක් කරගන්න, ඒක තමයි මේ යුගයේ භික්ෂුවගේ කාර්ය භාරය. අනිත් කාරණා දෙකයි අපිට අනුව. මේ රටේ අනිත් ඕනෑම කාරණාවන් සම්බන්ධයෙන් ඕනතරම් ආයතන තියෙනවා දැන් ගොවිතැන ගත්තොත් ගොවි සමිති ම තියෙනවා මං හිතන්නේ පනස් දාහක් විතර. ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නිලධාරීන් ඉන්නවා. සංවිධාන තියෙනවා. research centers තියෙනවා. හැබැයි මේ ජාතික ප්‍රශ්න කතා කරන්න කවුරුත් නෑ.  ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි මහමැතිවරණයට ඉදිරිපත් වුණත් අවාසනාවන්ත විදිහට ලැබුන මන්ත්‍රීධූරය පරිශුද්ධ විදිහට, පිරිසිදු විදිහට අපේ අරමුණ මල් පළ ගැනීම දක්වා වූ ඒ උතුම් අරමුණ ජයග්‍රහණයෙන් කෙළවර කර ගැනීම සඳහා පවිත්‍ර විදිහට අපේ අතට හමුවුණේ නෑ. නොයෙක් අර්බුද නිර්මාණය වුණා. ඒ ගැන කතා කරන්න කාලය මිඩංගු කරන්න අවශ්‍ය නෑ. අපිට වැඩපිළිවෙළක් තියෙනවා ඉදිරියට.

රතන හාමුදුරුවන්ට මන්ත්‍රී ධූරය ලබා දුන්නේ මාස හයකට

රතන හාමුදුරුවන්ට මන්ත්‍රී ධූරය ලබා දුන්නේ මාස හයකට. උන්වහන්සේ මේ ඔබේ කැමරාවට මේ කතා කරන තැන මේ පුටුවලට කතා කරන්න පුළුවන් නම් කියයි... සමන් පෙරේරා මහතාත් මමත් රතන හාමුදුරුවොත් එකග වෙලා දුන්නේ.  උන්වහන්සේ කිව්වේ මට එක දවසක් දෙන්න කියලා. අපි කිව්වෙ එහෙම එක දවසක් නෙවෙයි.. ඔබ වහන්සේට යම් කාර්යභාරයක් තියෙනවා නං.. නායකත්වයට ගෞරවයක් හැටියට ඕනෙම නං ඔබවහන්සේ එක කරල එන්න. කිව්වේ ගිවිසුමත් කොළ කෑලි වත් අවශ්‍ය නැහැ.. මගේ වචන ගැන විශ්වාසය තබන්න. බලන්න මම මගේ වචනයට වග කියන විදිහ.. එහෙමයි එදා කිව්වේ.. ඉතින් මම හිතනවා දැන් කාලෙ හරි ජූලි මාසේ පස් වෙනිදා වෙනකොට මාස 6 ක් සපිරෙනවා. උන්වහන්සේ මාස 3ක් වගේ ඇතුලත අයින් වෙනවා කිවුවා. අපි කිව්වේ නෑ මාස හයක් වගේ ඇතුලත ඔබ අයින් වෙන්න කියලා. මොකද මේක මට ලැබුණු මන්ත්‍රීධුරය.. අපි වෙනුවෙන් විශ්වාස කරපු, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු.. නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරපු.. විශාල ප්‍රමාණයක් මේ රටේ විසිරිලා ඉන්න හැමෝගේම අපේක්ෂා භංගත්වයට පත්වෙලා තියෙනවා. හාමුදුරුවෝ අපිව අතරමං කරාද කියලා.. නෑ නිහඬව බලාගෙන ඉන්නවා හැමදේටම පැන පැන කතා කරගෙන අවශ්‍ය නැහැ.. අපි කතා කරපු දෙයක් තියෙනවා.. දැන් ආයෙ කල් මරන්න දෙයක් නැහැ.. මේක තමා අවශ්‍ය අවස්ථාව.. අනිවාර්යෙන්ම පොරොන්දු වූ පරිදි මම හිතනවා පක්ෂය ඒ අවස්ථාව ඉටු කරයි කියලා.. රතන හාමුදුරුවෝ ඉල්ලා අස්වෙලා ඒ කාර්යය ඉෂ්ට කරන්න..  ආයේ නට නට ඉන්න වෙලාවක් නැහැ. අපි මේ රටට වග කියන්න වෙනවා. අපි අපේ ජනතාවට අපි කිව්වා, අන්‍යාගමීකරණය වෙනුවෙන් ඒ පනත ගේන්න ඕනේ. ඉස්ලාම් අන්තවාදය තීරණාත්මකව පරාජය කරන්න ඕනේ. බුර්කාවක් තහනම් කරන්න ඕනේ. දරු උපත් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.. උපත් පාලනය ගැන කතා කරන්න ඕනේ. ඒ වගේම භික්ෂු සංස්ථාව ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ වෙනුවෙන් සංයුක්ත වැඩපිළිවෙළක් හදන්න ඕනේ. මේ ආදී ලෙස අපි කියපු කාරණා ගණනාවක් තියෙනවා. අලුත් පරම්පරාවක් නිර්මාණය කරගන්න ඕන. ඒ වගේම හොඳ ධනාත්මක චින්තනයෙන් යුක්තව හොඳ ආකල්ප සහිත මේ ජාතිකවාදී වැඩ පිළිවෙලට සම්බන්ධ පිරිසක් ගොඩනඟා ගන්න ඕනේ. ඒක නිසා දැන් යම්  කාලයක් ගිහිල්ලා තියෙනවා. දැන් කාගේ කාගේත් තමන්ගේ බලාපොරොත්තු අරමුණු සඵල කරගෙන ඇති කියලා විශ්වාස කරනවා. ඒක නිසා දැන් තමයි හොඳම අවස්ථාව මේ මන්ත්‍රීධුරය අපිට ලබා දෙන්න. මොකද ඒක යුතුකමක් මිනිසුන්ගේ බලාපොරොත්තුවක්.. මාස හයෙන් පස්සේ ඔය මන්ත්‍රීධුර අවුරුද්දෙන්, දෙකෙන්, දෙකහමාරක් තුනේ කතාවෙන් අපිට වැඩක් නෑ.. එහෙම ලබාගන්න තරම් අපි හීන දීන වෙන්නෙත් නෑ. ඒ නිසා සාකච්ඡා කළ පරිදි කටයුතු සම්පූර්ණ කරන්න කියලා ඒ පාර්ශවයට අපි මතක් කරන්න කැමතියි. මොකද අපි අපේ වචනෙට වගකියන්න ඕන. යථාවාදී තථාකාරී ඒ මාර්ගය අපි පිරිසිදුව තියන්න ඕනේ.