නිවාස ආශ්‍රිතව කොරෝනා රෝගීන් රැකබලාගැනීමේ නව වැඩපිළිවෙලක්

නිවාස ආශ්‍රිතව කොරෝනා රෝගීන් රැකබලාගැනීමේ නව වැඩපිළිවෙලක්

නිවෙස් තුළ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙළක් අද(28) ආරම්භ කෙරිණි.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙනි.

නිවාස ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් රැකබලා ගැනීම සිදුවන්නේ,1390 සෘජු දුරකතන අංකය ඔස්සේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නිවෙස්වල රඳවා සිටින ආසාදිතයින්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනය මගින් අධීක්ෂණයට ලක් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බවය.

ඊට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 400 දෙනෙකුට අධික සංඛ්‍යාවක් දායක වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ යටතේ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව රෝගීන් වර්ගීකරණය කෙරෙන අතර ඔවුන් ක්‍රමානුකූලව රෝහල්ගත කිරිමේ වැඩපිළිවෙළක් ද සකස් කර තිබේ.

නිවෙස් තුළ රඳවා ගත හැකි රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන් හා නිවෙස්වල රැඳී සිටීමේ හැකියාව යන කරුණු පදනම් කර ගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

එමගින් රෝග ලක්ෂණ ඇති අවුරුදු 60ට වැඩි සංකූලතා සහිත රෝගීන්ට හා අවදානම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි රෝගී කාණ්ඩවලට රෝහල්ගත කිරීමේදී මූලිකත්වය ලබා දීමට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක⁣ළේය.

වැඩපිළිවෙළ තුළින් රෝහල් ධාරිතාව මනා කළමනාකාරීත්වයකින් යුතුව භාවිත කළ හැකි වන අතර වෛද්‍ය අවධානය වැඩිපුර අවශ්‍ය රෝගීන්ට ප්‍රමුඛතාව ලබාදීම තුළින් මරණ සංඛ්‍යාව ද අඩුකර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා තුන්වන රැල්ලත් සමග සීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේද රට තුළ ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් හා රෝගීන් යොමු කෙරෙන රෝහල්වල හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයවල දැඩි තදබදයක් හටගෙන තිබෙන බවය.

එම තත්ත්වය බොහෝ දුරට පාලනය කර තිබුණ ද, බස්නාහිර පළාත හා රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන දිස්ත්‍රික්කවල රෝගීන්, රෝහල්වලට යොමු කිරිමේ ප්‍රමාදයක් ඇතිවීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.