මාලිමා ආණ්ඩුව විසින් ගෙන්වන ලද ගල් අඟුරු නැව් තුන ම ප්‍රමිතියෙන් තොරයි - පුබුදු ජයගොඩ

මාලිමා ආණ්ඩුව විසින් ගෙන්වන ලද ගල් අඟුරු නැව් තුන ම ප්‍රමිතියෙන් තොරයි - පුබුදු ජයගොඩ

නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වා ඇති පළමු, දෙවන පමණක් නොව තුන්වන ගල් අඟුරු නැව ද ප්‍රමිතියෙන් තොර යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (25) පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

ආණ්ඩුව ලංකාවේ රසායනාගාර වාර්තා නිකුත් කිරීමත් අත්හිටවූවා

''මෙවර ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් නම් ඉන්දියානු සමාගමෙන් ආනයනය කර ඇති ගල් ඇඟුරු ප්‍රමිතියෙන් තොර බවට අප කියද්දී ආණ්ඩුව, විශේෂයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළා. පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරුවල ජනන ශක්තිය අඩු බව සහ එහි අළු ප්‍රතිශතය වැඩි බව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අනුබද්ධ රජයේ රසායනාගාරය වාර්තා කළ පසුවවත් එය පිළිගත්තේ නෑ. එහි සාම්පල සඳහා දෙවන පරීක්ෂණයක් ඉන්දියාවේ රසායනාගාරයක කළා. එම රසායනාගාර වාර්තාවත් ලංකාවේ වාර්තාව තහවුරු කළා. ඉන් පසුව ආණ්ඩුව ලංකාවේ රසායනාගාර වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමේ අත්තනෝමතික තීරණයක් ගත්තා. නමුත් රසායනාගාර වාර්තා සැඟවූවත් අවසානයේ බලාගාරය ජනනය කරන විදුලි බල Strongly සහ එයට භාවිතා වූ ගල් අඟුරු ප්‍රමාණය මත ප්‍රමිතිය සොයා ගන්න පුළුවන්. ජනවාරි 21 වැනිදා ලංවිම නිකුත් කළ මේ වාර්තාවට අනුව තුන්වන නැවේ ගල් අඟුරු තොගවලත් ප්‍රමිතිය නෑ. වෙනදා ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකකින් 270MW බැගින් 810MW විදුලියක් ජනනය කළා. නමුත් තුන්වන නැවේ ගල් අඟුරුවලින් ජනනය කර ඇත්තේ 715MW පමණයි. ඒ ජනන යන්ත්‍ර තුනෙන් 240, 239, 236 MW බැගින්. මේවායේ ජනන ධාරිතාව 300 MW. විදුලි බල විශේෂඥ විදුර රළපනාව මහතා මෙය පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. එනිසා තුන්වන නැවේත් ගල් අඟුරු ප්‍රමිතිය බාල බව පැහැදිලියි. ටෙන්ඩර් ගිවිසුමට අනුව නැව් දෙකක තොග ප්‍රමිතියෙන් අසමත් වුණොත් ඇණවුම අවළංගු වෙනවා.

අශ්වයා පැන ගිය පසු...

අපි 2025 සැප්තැම්බර් සිට කියන කරුණු නොඇසූ කන් ඇතිව සිටි ආණ්ඩුව අද සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වන The Sunday Times පුවත්පතට පවසා තිබෙනවා ප්‍රමිතිය බාල වීමේ ප්‍රශ්නය පිළිගන්නා බව. ඒ සඳහා විකල්ප දෙකක් යෝජනා කර තිබෙනවා ස්ථානීය හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සහ ගල් අඟුරු පටවන වරායේ දී පරීක්ෂා කර, ප්‍රමිතියෙන් බාල නම් ප්‍රතික්ෂේප කිරීමට. මේ තීරණ කලින් ගත යුතුව තිබූ ඒවා. දැන් ප්‍රමාද වැඩියි. ඉදිරි වසරට ම අවශ්‍ය ගල් අඟුරු ගොඩබෑමට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනකට අඩු කාලයක්. අප්‍රේල් වාරකන් පටන් ගන්නවා.

අමාත්‍යවරයා මේ සමාගම වෙනුවෙන් මෙපමණ පෙනී සිටින්නේ ඇයි?

මේ ටෙන්ඩර් පටිපාටිය සැක සහිතයි. ටෙන්ඩරය කැඳවීම මාස තුනක් ප්‍රමාද කළා. මේ සමාගමට ලියාපදිංචිය දුන්නේ ඒ අතර. මේ සමාගමට ගැළපෙන පරිදි ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා. ටෙන්ඩර් කාලසීමාව සති හයේ සිට තුනට අඩු කළා. එතකොට කිව්වේ හදිසියි කියලා. එහෙම කිව්වට ටෙන්ඩරය ප්‍රදානය කරන්න සති හයක් ගත්තා. මේ සමාගම සතොසට සහල් ආනයනය කර වංචා චෝදනා වලට ලක්වූ සමාගමක්. මේ සමාගමේ හිමිකරුවා ඉන්දියාවෙන් මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ කෙනෙක්. මේ සමාගමේ දේශීය නියෝජිතයාත් වංචා ගැන චෝදනා ලැබූවෙක්. මේ තරම් පැහැදිලි චෝදනා තිබියදීත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ සමාගම වෙනුවෙන් මෙපමණ පෙනී සිටින්නේ ඇයි? අපි දිගින් දිගටම කියනවා ජනාධිපතිතුමා මැදිහත් වී අපක්ෂපාතී විමර්ශනයක් කරන්න. මේ විෂමාචාරවල පාඩුව විදුලි බිල හරහා ජනතාව මත පටවන්න එපා. වගකිවයුත්තන්ගෙන් අලාභය අය කර ගන්න. හොරු ආරක්ෂා කරන්න එපා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න