සතිය ඇරැඹුමේ ඉදිරි සැලසුම් සාකච්ඡා හමුවේදීම රනිල් දේශපාලන නොවන කතාවක් පිළිබඳව සඳහන් කළේය.
"මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යයට මේ සතියේ වසර හැත්තෑවක් පිරෙනවා. පළවෙනි මනමේ දර්ශනය බලන්නත් මම ගිහින් තියෙනවා"රනිල් පැවසීය.
එහි සිටි හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැවසූයේ ඒ අතීත පුවත් දැන ගැනීමට ජනතාව ඉතා කැමැති බැවින් අදාල කරුණු විස්තර කරමින් ප්‍රකාශයක් කිරීම සුදුසු බවයි. එහිදී හිටපු මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න කීවේ අදාළ කරුණු සඳහන් කරමින් වීඩියෝ පටයක් සකස් කර මාධ්‍යයට නිකුත් කිරීම සුදුසු බවයි. ඒ අනුව අදාල වීඩියෝ පටය පටිගත කිරීමට විධිවිධාන සැකසිණි. එම වීඩියෝ පටය සමාජ මාධ්‍යයට නිකුත් කෙරුණු අතර ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබෙන්නට පටන් ගත්තේය. පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍යත් ඊට ලොකු ඉඩක් ලබාදී තිබිණි.
මෙම ප්‍රකාශයෙන් පසු රනිල්ට පවුලේ හිතවතුන්, කලාකරුවන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ප්රශංසාත්මක කතා ගලා ආවේය. ඒ අතරින් එක් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කර්තෘවරයෙක් පැවසූයේ "අද කවුද ඉතින් දේශපාලනයේ මේ වගේ දේවල් කියන්නෙ ඉන්නේ" යනුවෙනි.
රනිල් සතිය ආරම්භ කළේ ඒ වැඩකටයුත්තෙනි. අදාල හඬ පටය ලබාදීමට පෙර රනිල් යුතුකමක් ලෙස මනමේ නාට්‍යයේ රඟපෑ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම රංගධරයකු වන නිශ්ශංක දිද්දෙනියට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
අදාළ ප්‍රකාශය පළ වූ පසුව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ ලලිතා රනිල්ට දුරකතන ඇමතුමක් ලබාගෙන " සර් මේ ගැන කතා කරපු එක හොඳයි. එයින් ලොකු පිබිදීමක් ඇතිවුණා. ඔබතුමා දකින්නත් ආසයි" යනුවෙන් ඇය සඳහන් කළාය. ඒ අනුව තම නිවසට පැමිණෙන්නැයි රනිල් ලලිතාට ආරාධනාවක් කළ අතර එතුමිය ඒ ආරාධනාව බාර ගත්තාය.
හැත්තෑ වසරක 'මනමේ' මතක සහ රසවත් අතීතය
මනමේ ගැන අතීත මතකය අවදි කරමින් රනිල් පැවසූයේ වසර හැත්තෑවකට පෙර අතීතයකි.ඒ තම පියා විසින් රනිල් ,ෂාන් මෙන්ම ඔවුන්ගේ මව මනමේ බලන්නට ලයනල් වෙන්ට් ශාලාවට එක් කරගෙන ගිය අතීතයයි.
" මම අම්මගෙන් ඇසුවා මේ මොකක්ද කියා. ඇය මට කීවා මෙය පරණ කතාවක්, වැදි රජවරුන් පවා මේ නාට්‍යයේ ඉන්නවා කියලා. අප දැනගෙන හිටියේ නැහැ සම්පූර්ණ කතාව. මීට පෙර සිරි සඟබෝ නාට්‍ය පෙන්වන්න වයි.එම්.බී ශාලාවට අප රැගෙන ගොස් තිබුණා.
අප ලයනල් වෙන්ඩ්ට් ශාලාවට ගිය අවස්ථාවේදී එයින් භාගයක්වත් පිරී තිබුණේ නැහැ.
නමුත් ඒ නාට්‍යය අප හිතුවට වඩා හොඳයි. එතැනදී මනමේ කුමරි හැටියට ට්‍රිලීෂියා අබේසේකරත්, මනමේ කුමාරයා හැටියට බෙනඩික් සිරිමාන්නත් හිටියා, පොතේ ගුරා හැටියට ශාමෙන් ජයසිංහ හිටියා, වැදි රජු හැටියට සිටියේ එඩ්මන්ඩ් ජයසිංහ සහ දෙටු රජ හැටියට ලයනල් ප්‍රනාන්දු.
මේ සියලු දෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්. පසුව මේ නාට්‍යය වේදිකා ගත කරද්දී ශාලා පිරී ඉතිරි ගියා. විශේෂයෙන්ම මට මතකයි ට්‍රිලීෂියා අබේසේකරත්, බෙනඩික් සිරිමානත් වේදිකාවෙන් පිටවී යන අවස්ථාවේදී පසුබිමින් ඇසුණු ගීතය. ඒ සින්දුව තමයි “ප්‍රේමයෙන් මන රංජිත වේ...”. රනිල් ඒ රසවත් අතීතයේ සිහිපත් කළේ එසේය.
රනිල් මෙහිදී සමකාලීන වෙනත් නාට්‍ය චිත්‍රපට ආදිය ගැනත් සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය.
රනිල් තම ප්‍රකාශය අවසන් කළේ ප්රාර්ථනාවක්ද කරමිනි.
"අද මනමේ නාට්‍ය 70 වැනි සංවත්සරය සමරනවා. එය ඉතා වැදගත් අවස්ථාවක්. ඒ නිසා විශේෂයෙන්ම තව දුරටත් මේ කලාව ඉදිරියට යයි කියා මා බලාපොරොත්තු වෙනවා" ඔහු කීය.
“අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ හිසරදේ ගැන”
සතියේ දේශපාලන කණ්ඩායම් හමුවේදී අදහස් දක්වමින් බොහෝ දේශපාලනඥයන් පැවසූයේ කථානායකට විරුද්ධව සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය ඇත්ත ප්‍රශ්න යටගැහීම සඳහා හැදු නාටකයක් බවයි.
" අද රටේ තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. මේගොල්ලෝ කතා කරන්නේ වෙන ප්‍රශ්නයක්.සජබෙ හැර අනිත් විපක්ෂ දේශපාලන පක්ෂ ඔක්කොම ඇත්ත ප්‍රශ්න කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේක නිකන් ඇත්ත ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවයි සජබෙයි එකතුවෙලා ඇදගෙන යන එකක් වගේ පේන්නේ " වජිර පැවැසීය.
"කතානායකතුමාට තිබෙන චෝදනා මුලින්ම තේරුම් කාරක සභාවකට යන්න ඕන. තේරුම් කාරක සභාවෙන් තීරණයක් දෙන්න ඕනනේ.අඩු ගානේ බහුතර සහ සුළුතර වාර්තා දෙකක් හරි ගන්න පුළුවන්නේ.අපි දන්නේ නැහැනේ කොට්ට කීයක් ගෙනිච්චද මෙට්ට කීයක් ගෙනිච්චද කියලා. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට මිනිස්සු අහන්නේ මෙයාගෙ කොට්ට මෙට්ටද ප්‍රශ්නේ කියලා. ලංකාවේ ප්‍රශ්න තියෙනවා. ලෝකෙ ප්‍රශ්න තියෙනවා. ඒ අස්සෙ සජබෙ කතා කරන්නේ කතානායකගේ කොට්ටෙ ගැන, අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ හිසරදේ ගැන" රනිල් කී ඒ උපහාස කතාවට සියලු දෙනාටම සිනහ පහළ විය.
" මිනිස්සුන්ට ගෑස් නෑ, තෙල් නෑ, එක දවසක් කොලයක් අල්ලනවා. තව දවසක් කොළයක් අල්ලනවා. මොකක්ද මේ.මේවා නිසා මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්නත් එපා වෙලා තියෙන්නේ.සරත් සිල්වත් ඇවිල්ලා ජී.එල් එක්ක වාඩිවෙලා කරපු මාධ්‍ය හමුව ඊට වඩා මිනිස්සු බැලුවා" මාන්නප්පෙරුම පැවසීය.
කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාව
" පාර්ලිමේන්තුවේ හරි විපක්ෂයක් නැති එක දැන් තමයි මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ"තලතා කීවාය.
මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මෙහිදී රනිල්ගෙන් විමසූයේ කෙහෙළිය අධිකරණය හමුවේ කියූ කතාවකි.
" බාල ඖෂධ ගන්න කැබිනට් පේපර් එක දැම්මේ සර් කියලා කෙහෙලිය කියලා තිබුණා"
ඒ කතාවට සිනා පහළ කළ රනිල් "මම කැබිනට් පේපර් එක දැම්මේ ඖෂධ ගන්න. බාල ඖෂධ ගන්න කැබිනට් පේපර් දානවද?" යනුවෙන් පෙරළා ප්‍රශ්න කළේය.
මුදල් අමාත්‍යංශය හරහා ඒ කැබිනට් පේපර් එක දාන්න ඕන .ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් තමයි ඖෂධ ගන්න තිබුණේ.ඒක අපි ඔක්කොම කතා කරලා දාපු එකක්" යනුවෙන් රනිල් පැවසීය.
එජාප සමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කිරීම: මිලේනියල් සහ Gen Z නියෝජනය
ඉකුත් සතියේදී එක්සත් ජාතික පක්ෂය තවත් වැදගත් පියවරක් තැබුවේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය නිල වශයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයට පත් කිරීමයි.
මිලේනියල් UNP පරපුර වයස අවුරුදු 35-40 දක්වා කාණ්ඩය නියෝජනය කරයි. Gen Z UNP පරපුරට අයත් වන්නේ වර්ෂ 2000 න් පසුව ඉපදුනු යෞවන, යෞවනියන්ය.
නව නීති පනත් සහ GSP+ තීරුබදු සහනය රැක ගැනීමේ අභියෝගය
ඉකුත් සතියේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව විශේෂ විය. ඒ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ද ජී.එල් සමග එම හමුවට සහභාගී වීමයි.
එහිදී මූලික ලෙස අවධානය යොමු වූයේ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මගින් සිදුවිය හැකි අවැඩ දායක තත්ත්වය පිළිබඳවයි.ජී.එල් මෙන්ම සරත් මේ පනත් දෙක ගැන ගැඹුරු විග්‍රහයක් කළේය.
එහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ මේ පනත් නිසා ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමි වීමේ අවදානම ගැනයි.
"විදේශ විනිමය එන්නේ තුන් ආකාරයකින්. එකක් තමයි සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය අවිනිශ්චිතයි, අස්ථිරයි. අනෙක විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය, මැදපෙරදිග යුද්ධය නිසා එයත් අර්බුදයට ලක්වෙලා.
ඉතිරි වෙලා තියෙන්නේ අපනයන භාණ්ඩ හා සේවා වලින් අපිට ලැබෙන විදේශ විනිමය (Exports), අපේ අපනයන නිෂ්පාදන. gsp හරහා බටහිර යුරෝපයේ විශාල වෙළෙඳපොලක් අපට විවෘත වෙලා තියෙනවා. ඒක ලොකු වරප්‍රසාදයක්, අපේ අපනයන නිෂ්පාදන කිසිම තීරු බද්දක් ගෙවන්නේ නැතුව ඒ රටවල් වලට යවන්න.
හැබැයි ඒක හැමදාම තියෙන දෙයක් නෙමෙයි, අපිට දීලා තියෙන පරිත්‍යාගයක් නෙමෙයි, ඒකට වැදගත් කොන්දේසි තියෙනවා.
ප්‍රධාන කොන්දේසිය තමයි ජාත්‍යන්තර ගිවිසුම් 27කට අනුකූලව අපි කතා කරන්න, අපි ක්‍රියා කරන්න ඕන. ඒ 27න් ප්‍රධාන එක තමයි The International Covenant on Civil and Political Rights (ICCPR) - සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. ඒක පැහැදිලිව උල්ලංඝනය වනවා මේ පනත් දෙකෙන්ම. ඒ කියන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත හා සලසුම් සහගත අපරාධ වැළැක්වීමේ පනත.
එතකොට GSP ප්ලස් අහිමි වීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒක වුණොත් අපේ ආර්ථිකයට මේ අවස්ථාවේදී දරාගන්න බැරි පාඩුවක් වනවා යැයි ජී.එල් එහිදී ලොකු විස්තරයක් ඉදිරිපත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
