Image

"රටක නීති ගැන පදික වේදිකාවේ වෙළෙන්දෙක් වගේ කේවල් කරන්න එපා" - පුබුදු ජයගොඩ

"රටක නීති ගැන පදික වේදිකාවේ වෙළෙන්දෙක් වගේ කේවල් කරන්න එපා" - පුබුදු ජයගොඩ

• අපරාධ පනතේ සංශෝධන ගැන ජනාධිපති කළ කතාවට පෙරටුගාමීන්ගෙන් පිළිතුරු
• ජනාධිපතිවරයාගේ සංශෝධන කතාව ජනමතයට හිස නැමීමක්ද, නැතිනම් තවත් වංචාවක්ද?


සමස්ත සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා 'සංවිධානාත්මක අපරාධ පනත' සංශෝධනය කිරීමට ආණ්ඩුවට නම්‍යශීලී වීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඉකුත් දා (06) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ, නොවැම්බර් (5) වැනිදා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ‘සංවිධානාත්මක අපරාධ පනත’ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පළකරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම පනතේ මූලික සංශෝධන තුනක් පිළිබඳව සඳහන් කළද, ඒ හරහා මතු වී ඇති සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ දරන බවයි. එමෙන්ම රටක නෛතික ව්‍යුහය වෙනස් කිරීම වැනි බරපතල කාරණයකදී පදික වේදිකාවේ වෙළෙන්දෙකු මෙන් කේවල් කරමින් කටයුතු නොකරන මෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මතු පළ වන්නේ මෙහිදි පුබුදු ජයගොඩ පළ කළ සම්පූර්ණ අදහස් දැක්විමයි.

 

(උපුටා ගැනීම)

සමස්ත සමාජයේම විරෝධය සහ ජනතා බලය

ඊයේ (06) ආගමික පූජ්‍ය - පූජක හමුවකදී ජනාධිපතිවරයා කිව්වා සංවිධානාත්මක අපරාධ පනත සංශෝධනය කරන්නම් කියලා. 'මේ පනත මර්දන පනතක් නෙවෙයි'', අපි එහෙම කරයිද', 'මේක හදලා තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට', 'මේකට විරුද්ධ වෙන්නේ පාතාල කල්ලි වලින් සල්ලි ගන්න අය', 'මේ නීති හදන්නේ හොරු ටික ඇතුලට දාන්න' වගේ කතා කියකිය හිටපු ආණ්ඩුවක් මේ වගේ නම්‍යශීලීත්වයකට ආවේ සමස්ත සමාජයක් මේ මර්දන පනතට එරෙහිව හඬ නැගු නිසා.

නොවැම්බර් 4 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ තිබුණු උද්ඝෝෂණයට ආව වෘත්තීය සමිති නායකයන්, වෘත්තිකයන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, කලාකරුවන් සහ අරගලයේ ක්‍රියාකාරීන් විසින් පෙන්නුම් කළේ අත්තනෝමතිකත්වයක් ඉදිරියේ සියලු දෙනා එක්ව නැගී සිටින බව. එදා දවසේ තවත් තැන් ගණනාවක උද්ඝෝෂණ පැවැත්වුණා. සිය ගණන් මර්දන පනත් දෙකට එරෙහිව පාරට බැස්සා. ඒක කළ නොහැකි වූ අය සමාජ මාධ්‍යයේ සටහනක් තැබීමෙන්, සිය හිතවතුන්ට මේ බව පැවසීමෙන්, බස් එකේ - කෝච්චියේ - කඩපිල් වල - හන්දි වල 'අපි ආණ්ඩුවට ඡන්දය දුන්නාට මේ වගේ දේවලට එකඟ නෑ' කියා නැවත නැවත කීමෙන් ඒ හඬ ශක්තිමත් කළා. විශේෂයෙන් ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට විශාල කාර්ය කොටසක් කළ සැලකිය යුතු පිරිසක් තමන් මර්දන නීති වලට විරුද්ධ බව ප්‍රසිද්ධියේ පැවසීම අපව ධෛර්යමත් කළා.

සියලු දෙනාටම ස්තුතියි. අපි ඊයේ ඔප්පු කළේ ජනතාව සතු බලය, පාර්ලිමේන්තුවෙන් එළියේ ගොඩනැගෙන සංවිධානාත්මක බලය කෙතරම් ශක්තිමත්ද කියලා. ඡන්දය දීම පමණක් සිය වගකීම ලෙස සිතාගෙන, ආණ්ඩුවට ඕන දෙයක් කිරීමට ඉඩදී, දෙන දෙයක් කා - වෙන දෙයක් බලාගෙන සිටින සමාජයක් වෙනුවට සක්‍රිය සහ හිතන මතන සමාජයක් පවත්වාගෙන යාම කෙතරම් වැදගත්ද කියන එක.

 

රාජ්‍ය ත්‍රස්තවාදී පනත (PSTA) ගැන රැකි මුනිවත

ඊයේ කතාවේ ජනාධිපතිවරයා බලගතු විවේචනයට පාත්‍ර වී ඇති PSTA හෙවත් රාජ්‍ය ත්‍රස්තවාදී පනත ගැනමුනිවත රැක්කා. ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් විශාල විවේචනයක් එල්ල වී ඇති, ආණ්ඩුව තමන්ගේම ඉතිහාසයට සහ තමන්ගේම ප්‍රතිපත්තියට පස්ස හැරවූ බව ඔප්පු කළ ඒ පනතට කියන්න දෙයක් නැතිව ඇති. ඇත්තටම ඒකේ කියන්න තරම් සංශෝධනයක් නෑ, ඒක පදනමින්ම වැරදියි. කරන්න තියෙන්නේ මේ කෙටුම්පත විසි කරලා, PTA අහෝසි කිරීම. PTA එකට වඩා රාජ්‍ය ත්‍රස්තවාදී පනත හොඳයි කියලා කියන ආණ්ඩුව ඒකට පෙන්වන්නේ අහවල් - අහවල් වගන්තිය අයින් කළා කියන එක. නමුත් ඒ වගන්ති හෙමින් සීරුවේ සංවිධානාත්මක අපරාධ පනතට රිංගවලා. ඒක තමයි වංචාව.

 

ජනාධිපතිගේ සංශෝධන යෝජනා තුන හා සැබෑ ප්‍රශ්නය මඟ හැරීම

කොහොම වුණත් ජනාධිපතිවරයා කරුණු තුනක් සංශෝධනය කරන බව පවසනවා. ඒ කරුණු තුන තමයි පැමිණ ඇති ප්‍රධාන විවේචන කියලා කියනවා. එක්කෝ ජනාධිපතිවරයා සිහිබුද්ධියෙන් තමන්ට එන විවේචනයවත් අධ්‍යනය කරන්නේ නෑ. නැතිනම් ඔහු හිතාමතාම ලිහිල් කරුණු ටිකක් කියලා ඇත්ත ප්‍රශ්නයෙන් පැන යන්න උත්සාහ කරනවා.

 

පළමුවැන්න, (පොලිස් රැඳවුම් කාලය):

අත්අඩංගුවට ගත් කෙනෙක් පොලිස් කූඩුවේ තියාගන්නා කාලය පැය 72 සිට පැය 48ට අඩු කරන්නම් කියනවා. ප්‍රශ්නය පැය ගණන විතරක් නෙවෙයි, පනතෙන් පොලීසියට ලැබෙන අසීමිත බලය. ඕනෑම කෙනෙකු අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක බව කියලා අත්අඩංගුවට ගන්න, දින ගණන් පොලීසියේ තියාගන්න, රැඳවුම් නියෝග හරහා අධිකරණයේ සමාලෝචනයකින් තොරව අවුරුද්දක් දක්වා රඳවා තබන්න, අධිකරණ අධීක්ෂණය නැති රැඳවුම් ස්ථාන පවත්වාගෙන යන්න, රිමාන්ඩ් රැඳවියන් පවා පොලීසි වලට ගෙනගොස් මාස හයක් පොලීසියේ තබා ගන්න ආදී වශයෙන් විශාල බලයක් පොලීසියට දීලා. රැඳවුම් නියෝගයක් තිබුනොත් මහේස්ත්‍රාත්වරයාට ඒක අනුමත කරන්න වෙනවා. රැඳවුම් නියෝගයක් නැතිනම් රිමාන්ඩ් කරන්න කියලාත් වගන්තියක් තියෙනවා. ඒ කියන්නේ කොහොමත් ඇතුලට යන්න වෙනවා. අදාළ චුදිතයා මේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාධක නෑ කියලා නිදහස් කරන්න වගන්තියක් නෑ. ඔය අත්අඩංගුවට ගන්න කෙනා මහේස්ත්‍රාත් ඉදිරියට දාන්න කියන වගන්තියත් ඉවත් කරලා පොලීසියටම කැමති දෙයක් කරන කියන එකයි මේකයි අතර වෙනසක් නෑ. ප්‍රශ්නය මහේස්ත්‍රාත් රබර් සීල් එකක් කරලා අධිකරණය සතු බලය විධායකය අතට ගැනීම.

බොරුවට පැය ගණන කේවල් කරන්න එන්න එපා. පදික වේදිකාවේ සෙල් දාන අය මුලින් බඩුවේ මිල රුපියල් 400යි කියනවා. පස්සේ 250ට දෙන්නම් කියනවා. හැරිලා යනකොට රුපියල් 100ට දෙන්නද අහනවා. මේකත් ඒ වගේ. නමුත් මේ නීති කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ නීති. මේවා ගැන පදික වේදිකාවේ වෙළෙන්දෙක් වගේ කේවල් කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.

 

දෙවනුව, (පච්ච මගින් හඳුනාගැනීම):

දෙවනුව, පච්ච වලින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුනාගැනීමේ වගන්තිය වෙනස් කරන්නම් කිව්වා. ප්‍රශ්නය පච්චයකට ලඝු කිරීම තක්කඩි කමක්. පච්චය මේ පනතේ විසුලුකාරී බවට සංකේතයක් පමණයි. මේ පනතට එල්ල වන විවේචනයේ හරය වෙන්නේ පුද්ගලයෙකුගේ බාහිර පෙනුම සහ ආශ්‍රය කරන සමාජ තීරුව අනුව එම පුද්ගලයා අපරාධයක සැකකරුවෙකු කිරීම. මේ පනත සම්මත වුණොත් පුද්ගලයෙකු චූදිතයෙකු කළ හැක්කේ අපරාධකාරී ක්‍රියාවකට දායක වුවහොත් පමණයි යන පවතින නීතියේ මූලික පදනම අහෝසි වෙනවා. ඒ නිසා බබා වගේ පච්ච ගැන කියවන්න එපා. ඔයගොල්ලෝ බබා නෙවෙයි කියලා හැමෝම දන්නවා.

 

තුන්වැනි කරුණ (සුරාබදු පනතේ වැරදි ඉවත් කිරීම):

තුන්වැනි කරුණ ලෙස ජනාධිපතිවරයා කියන්නේ සුරාබදු පනතේ සඳහන් වැරදි ටික මේ පනතෙන් ඉවත් කරන්නම්ලු. ඇයි සුරාබදු පනත විතරක්? සූදු පනතේ, වන හා වෘක්ෂලතා පනතේ, වනජීවී පනතේ, පුරාවිද්‍යා පනතේ වැරදිත් මේකට එකතු කරලානේ. ඒවා ඉවත් කරන්නේ නැද්ද? උද්ඝෝෂණයක් කරන කම්කරුවෙක් - ගොවියෙක් - ශිෂ්‍යයෙක් - තරුණයෙක් පවා පාතාලයට සම්බන්ධ කරන්න පුළුවන් විදියට 'රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම' මේ පනතේ වැරදි වලට ඇතුලත් කරලානේ. ඒක ඉවත් කරන්නේ නැද්ද? ජනාධිපතිවරයාගේ පපුව උණු වුණේ ආණ්ඩුවට සමීපව ඉන්න, මූල්‍ය ආධාර දෙන අරක්කු නිෂ්පාදන සමාගම් ටික මේ පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට ගියාට පස්සේ. මෙච්චර විවේචන එද්දී එතුමාට ඇහිලා තියෙන්නේ අරක්කු කොම්පැනි වල විවේචනය විතරයි. කැලේට ගිහින් දර කෑල්ලක් කපා ගත්තාම දැනුත් දවස් ගණන් රිමාන්ඩ් වෙන, මේ පනත සම්මත වුණොත් සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස නම් වෙලා හිරේ යන්න නියමිත ගැමියන් නඩු දාලා නෑ තමයි. ආණ්ඩුවට ඒ නිසා ඒ නිර්ප්‍රභූන් පෙනෙන්නේ නෑ, අරක්කු සමාගම් වල ප්‍රභූන්ට විතරයි ප්‍රතිචාර දක්වන්නේ.

 

ජනාධිපතිවරයා නොසලකා හැරි බරපතල විවේචන

මේ පනත් වලට එරෙහිව ඔය කියපු කරුණු තුනට වඩා ගොඩක් විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රධාන විවේචනයක් වුණු පොලීසියේදී ලබාගන්නා (බොහෝවිට පහරදී බලහත්කාරයෙන් ලබා ගන්නා) පාපොච්චාරණය නඩුවකදී වලංගු සාක්ෂියක් ලෙස පිළිගැනීමේ වගන්තිය ජනාධිපතිවරයාට අමතක වුණේ ඇයි? වරදක් කළ කෙනෙකුට පසුව නිවැරදි විය හැකියි, පුනරුත්ථාපනය විය හැකියි කියන නීතියේ මූලික පදනම කඩා බිඳ දාලා අතීතයේ කවදා හෝ දවසක සංවිධානාත්මක අපරාධ කල්ලි චුදිතයෙකු ආශ්‍රය කිරීමේ හේතුව මත කෙනෙකුට දඬුවම් දීමේ වගන්තිය මගහැරුනේ ඇයි? පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට විශාල ලෙස හානි විය හැකි ලෙස දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ වලටත්, හුවමාරු වන පණිවුඩ වලටත් ප්‍රවේශ වෙන්න, පෞද්ගලික උපකරණ වල මුරපද කඩන්න, දුරකථන ඇමතුම් පටිගත කරන්න පොලීසියට බලය දෙන වගන්තියට එල්ල වන විවේචන ජනාධිපතිතුමාට ඇහුනේ නැද්ද?

 

චිත්‍ර ශිල්පියාගේ උපමාව සහ ආණ්ඩුවේ උපක්‍රමය

මේ සංශෝධන කතාව ජනමතයට හිස නැමීමක්ද, නැතිනම් තවත් වංචාවක්ද? මේ ප්‍රශ්න ජනාධිපතිවරයාගේ කතාව අසාගෙන සිටින අපි කාටත් ඇති වෙනවා. ඉස්සර වෙළඳ දැන්වීම් කරන ආයතනයක චිත්‍ර ශිල්පියෙක් හිටියා එයා අඳින චිත්‍ර ආයතන ප්‍රධානියා අලුතෙන් අඳින්න කියනවා කියලා සිත් රිදීමක. පස්සේ එයා මිනිහෙකුව අඳිනවා එක අතක ඇඟිලි හයක් දාලා. එතකොට ප්‍රධානියාට චිත්‍රයේ වෙන වැරදි පෙන්නේ නෑ, එයා කියනවා වැඩිපුර අන්දපු ඇඟිල්ල මකලා චිත්‍රය දෙස් අංශයට යවන්න කියලා. ආණ්ඩුව වැඩ කරන්නෙත් එහෙමද? රටේ සමස්ත නෛතික රාමුවේම අත්තනෝමතික, ජනතා විරෝධී වෙනසක් කරලා, ඒ ගැන අවධානය කැඩෙන්න පස්සේ ඉවත් කරන්න හිතාගෙන පොඩි පොඩි කාලි එකතු කලාද? ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

 

ජනාධිපතිවරයාට සිදුකරන යෝජනාව

ජනාධිපතිතුමාට අපි යෝජනාවක් කරන්නම්. මර්දන පනත් පිලිබඳ ප්‍රශ්නය බෞද්ධ භික්ෂූන්, කතෝලික පූජකයන්, හින්දු හා ඉස්ලාම් පූජකයන් සමග සාකච්ඡා කිරීම එතරම් පලක් ඇති දෙයක් නෙවෙයි. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ බලය යොදවා අරලියගහ මන්දිරයට බලෙන් එකතු කළ පිරිසක් සමග නෙවෙයි මේවා කතා කරන්න ඕන.

මේ පනත් වලට එරෙහිව හඬ නගන කම්කරු ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, මානව හිමිකම් ක්‍රියාධරයන්, ඉතිහාස කාලයක් පුරා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ නීතීඥයන් ඇතුළු වෘත්තිකයන් හමුවී කතා කරන්න. ජාතික ජන බලවේගයට ඡන්දය දුන් මැද කොළඹ, වනාතමුල්ල, මාලිගාවත්ත, මෝදර, මට්ටක්කුලිය, දෙමටගොඩ වගේ ප්‍රදේශ වල නාගරික දිළිඳු පවුල් වල තරුණයන් සමග මේ ප්‍රශ්නය කතා කරන්න. මේ පනත් වලට එරෙහිව පෙරේදාත් පාරට බැහැපු නිදහස් වෙළඳ කලාප වල කම්කරු ස්ත්‍රීන් හමුවී කතා කරන්න.

ආගම රාජ්‍යයෙන් වෙන් කරන්න. ආගමික පූජ්‍ය - පූජක රැස්වීම් වලදී ආගමික -සංස්කෘතික ප්‍රශ්න කතා කරන්න. ප්‍රජාත්නත්‍රවාදය පිලිබඳ ප්‍රශ්න වලදී ඒ වෙනුවෙන් හඬ නගන සංවිධිත ජනතා සංවිධාන සහ එම විෂයේ විෂය ප්‍රවීණයන් සමග කතා කරන්න. අඩුම ගානේ මේ නීති ගැන විචාරාත්මකව බලන ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ සාමාජිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සාමාජිකයන් සමග කතා කරන්න. තමන්ගේම ඉතිහාසයට සහ තමන් පදනම් වූ බලවේග වලට පිටුපස හැරවීම වෙනුවට වරදක් සිදුවූ විට වරද පිළිගෙන නිවැරදි කිරීමට තරම් නිහතමානී වන්න. 'මට මර්දනය කිරීමේ අභිලාෂයක් නෑ', 'අපි එහෙම කරයි කියලා හිතනවද? මේ අපි..' වැනි 'වරදක් කළත් සිතකින් නොවේ' වර්ගයේ ආත්මීය කරුණු වලට වඩා රටක නෛතික ව්‍යුහය වෙනස් කිරීම පිලිබඳ,
(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න