Language Switcher

V2025

කොළඹ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 30කටම ඩෙල්ටා

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා ආසාදිතයින්ගෙන් ලබාගත් වයිරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වු බවත්,  ඒ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කොළඹ, මාතර, ගාල්ල, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් මේ වනවිට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගීන් වාර්තා වී ඇතැයි ඔහු ප්‍රකාශ ක‌ළේ ය.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 284,931 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අතරින් වැඩි දෙනෙකු  වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ සාම්පල 10 ක ඩෙල්ටා ආසාදනය වූ දෙන්නෙකු තුන් දෙනකු සිටිනවා නම් සියයට 30 ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවත් කොළඹ ප්‍රදේශයේ සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් ඩෙල්ටා ප්‍රභේදයේ අය විය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

PCR අඩු කළා - ඒත් අවධානම අඩු නෑ - සුදර්ශනී

මේ අතර කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කර ඇතැයි ‍රාජ්‍ය ඇමතින විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

අද වන විට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන නිසා මෙලෙස පරීක්ෂණ අඩු කළ බව ඇය කියා සිටි බවත් එහි සඳහන් ය.

අදාළ වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ කොරෝනා මරණ සංඛ්‍යාවද ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් ගියද කොරෝනා ව්‍යාප්තියේ අවදානම පහව ගොස් නැති බවද ඇය පෙන්වා දෙන බවයි.

එනිසා ජනතාව නිරන්තරයෙන් ම සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කිරීම අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇති බවත් වාර්තා කර ඇත.