Language Switcher

V2025

පක්ෂ 6ක් සාකච්ඡා මේසයට : පෙසප ලිපියට පක්ෂ 2ක් දැනටමත් එකඟයි !

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මෙන්ම පසුගිය දශක ගණනාවක ලංකාවේ ආණ්ඩු ගෙන ගිය වැරදි පිළිවෙත් හේතුවෙන් මේ වනවිට ලංකාවේ උද්ගත වෙමින් පවතින බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවකට වෙලාව වෙන්කර දෙන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් වෙත මෙම ලිපිය යොමුකර තිබේ.

පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් අත්සන් කළ මෙම ලිපිය, ජනතා විමුක්ති පෙරමුණේ, කොමියුනිස්ට් පක්ෂයේත්, සමසමාජ පක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් ලේකම්වරුන් වත මෙම ලිපිය යොමුකර ඇත.

ඇතිවෙමින් තිබෙන ආර්ථික දුෂ්කරතා හමුවේ පැන නැගෙන ජනතා විරෝධය විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීම වෙනුවට ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බව පෙ.ස.ප. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ඒ අරමුණ ඇතිව ලිඛිතව පක්ෂ ලේකම්වරුන් වෙත ලියමින් සාකච්ඡා සඳහා වෙලාවක් ඉල්ලා සිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මෙම ලිපි සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස සාකච්ඡාවකට සූදානම් බවට ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිසිට් පක්ෂයේ අදහස් තමන් වෙත ලැබී ඇති බවද සෙසු පක්ෂවල ප්‍රතිචාර ලැබෙන්නට නියමිත බවද ඔහු පැවසීය.

පහත සටහන් වන්නේ පොදුවේ සියලුම පක්ෂවලට යවන ලද ලිපියේ අන්තර්ගතය බව පෙ.ස.ප. මාධ්‍ය ඒකකය පවසයි.

කුමාර් මහත්තයාගේ ලිපිය !

"ප්‍රධාන ලේකම්,

............................. පක්ෂය

පවතින දේශපාලන තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සිදුකිරීම

මේ වනවිට ලංකාව ඉතා බරපතල ආර්ථික අර්බුදයකට ගොදුරු වී තිබේ. විශේෂයෙන් විදේශ විනිමය උත්පාදන මාර්ග බිඳ වැටී ඇති අතර වැඩකරන ජනතාවගේ දෛනික ආර්ථිකය විශාල අර්බුදයකට ලක්වී ඇත. අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ බොහෝ අයගේත්, වැටුප් ශ්‍රමිකයන්ගේත්, ගොවි-ධීවර ආදී ක්ෂේත්‍ර වලත් ආදායම් වල මූර්ත අගය පමණක් නොව එහි සංඛ්‍යාත්මක අගයද අඩුවී ඇති බව අවිවාදිතය. මේ අර්බුදය හමුවේ දිගින් දිගටම ණය ගැනීම, මුදල් මුද්‍රණය කිරීම, මහජන දේපල හා රාජ්‍ය ව්‍යවසායන් විකිණීම, අධ්‍යාපනය - සෞඛ්‍ය සේවය ඇතුළු සමාජ ආරක්ෂණ සේවා වාණිජකරණය කිරීම, ධන කුවේරයන්ට බදු සහන දෙන අතර ජනතාව මත බදු බර පැටවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා අර්බුදය ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

මෙම ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන-සමාජ-සංස්කෘතික-පාරිසරික අර්බුද විසින් ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කෙරෙමින් ඇත. පවතින අර්බුදය සිය භූ-දේශපාලනික බල අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට එක්සත් ජනපදය - චීනය - ඉන්දියාව ඇතුළු අධිරාජ්‍යවාදීන්, ලෝක බලවතුන් හා කලාපීය බලවතුන් ප්‍රයත්න දැරීමත් සමග සමස්ත ලාංකේය ජනතාවගේ ආරක්ෂාව අවදානමකට ලක්ව තිබෙන බව නොරහසකි. ආණ්ඩුව මේ තත්වයට මුහුණ දීමට සැරසෙන්නේ සමාජයේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වඩවඩාත් කප්පාදු කරමින් සහ ජාතිවාදය-ආගම්වාදය හරහා ජනතාව අසමගි කර ගැටුම් වලට පෙළඹවීමෙන් බවද නිරීක්ෂණය කළ හැක. වර්තමානය වන විට සියළු ක්ෂේත්‍ර ආවරණය කරමින් දියත් වන මිලිටරීකරණය බරපතල සමාජමය අභියෝගයක් ලෙස අපට අභිමුඛ වී තිබේ. වසංගතය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර නොගත් ආණ්ඩුව මේ වනවිට නිරෝධායන නීතිය භාවිතා කරමින් සිටින්නේ උද්ඝෝෂණ මර්දනය සඳහා බව මෑත කාලීන සියළු උදාහරණ වලින් තහවුරු වේ.

මෙම තත්වය පිළිබඳවත්, ඒ හමුවේ එයට මුහුණ දීම සම්බන්ධයෙන් අප අතර සාකච්ඡාවක් සිදුවිය යුතු බව විශ්වාස කරමු. එම සාකච්ඡාව සඳහා දිනයක් සහ වෙලාවක් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි. මෙයට,

කුමාර් ගුණරත්නම්

ප්‍රධාන ලේකම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2021 ජුලි 21"