Language Switcher

V2025

අනුරුද්ධ ප්‍රදීප්ගෙන් රතන හිමිට ලියුමක් !

හිතවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියනි,

මම මේ ලිපිය ලියන්නේ "ඔබ වහන්සේගේ වස විස ගොවිතැන ගැන මා එදා කියපු දේවල් හරි නේද?" කියා ඔබ වහන්සේගෙන් අසන්නට ය. එය දැන් ඔබවහන්සේ ලැජ්ජාවට පත්වෙන, අමිහිරි ප්‍රශ්නයක් බව මම දනිමි. නමුත් මෙවැනි විනාශකාරී, මෝඩ වැඩ තවදුරටත් කිසිවෙකු විසින් හෝ නො කරනු පිණිස ඒ කඨෝර ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් ඇසිය යුතුමය.

මීට වසර දහයකට පමණ පෙර, සම්පූර්ණයෙන්ම කාබනිකව කරන කෘෂිකර්මයක් ගැන විවිධ කතා ඔබ වහන්සේ විසින් මහත් විශ්වාසයෙන් යුතුව කියන්නට වීමත් සමගම එහි ඇති අතාර්කික සහ විහිළු සහගතභාවය මට අවබෝධ විය. ඔබ වහන්සේ ප්‍රියමනාප, ප්‍රසන්න පුද්ගලයෙකි. එසේම කතාවෙන් යම් පුද්ගලයෙකු ව නම්මා ගැනීමෙහි ද දක්ෂයෙකි. එහෙත් ඒ සමගම දැකිය හැකි විශාලතම දුර්වලතාවය වූයේ ඕනෑම විෂයයක් උඩින් අතපත ගෑමට විනා ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඔබ වහන්සේ තුළ වූ කම්මැලිකම සහ අකැමැත්තයි. අවාසනාවට එසේ හදිසියේ හා නොගැඹුරු ව එළැඹෙන නිගමන, මහා සත්‍යයන් සේ සමාජගත කිරීමට ඔබ වහන්සේ බිඳක්වත් පැකිලෙන්නේ නැත. එසේම ඒවා සටන් පාඨ බවට පරිවර්තනය කිරීමටත්, ඒවාට විරුද්ධ වන සියල්ලන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමටත් ඔබ වහන්සේ පියවර ගනී.

නරකම දෙය නම් ඒ සටන් පාඨ සහ එමඟින් ඇතිකරන උද්ඝෝෂණවලින් ඔබවහන්සේට පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව විනා ඒවායෙහි අහිතකර සමාජ ආර්ථික හා දේශපාලන බලපෑම් ගැන ඔබ වහන්සේ හිතන්නේවත් නැති වීමයි. කාබනික පොහොර සහ ෂාෆි සිදුවීම යන දෙකේදීමත් දැකිය හැකි වූයේ එම ලක්ෂණයයි.

වස විසෙන් තොර ගොවිතැන යයි ඔබ වහන්සේලා හැඳින්වූ ව්‍යාපෘතියෙහි ඇති අතාර්කිකභාවය සහ විනාශකාරීභාවය ඔබ වහන්සේට තේරුම් කර දීමට ඒ කාලයේ දී මම මහත්සේ වෙහෙසුනා ඔබ වහන්සේට මතක ඇත.

වරක් ඔබ වහන්සේ විසින් මේ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකට මටද ආරාධනා කරනු ලැබිණ. එහි ප්‍රධාන දේශකයන් වූයේ ඔබවහන්සේ හා චන්න ජයසුමන යි. එහිදී මම චන්නගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි. පළමුවැන්න වූයේ කාබනික ගොවිතැනෙන් ලබාගත හැකි අස්වැන්න, රසායනික පොහොර භාවිතයෙන් ලබාගත හැකි අස්වැන්නෙන් කොපමණ පංගුවක් ද යන්නයි. ඊට ඔහුගේ පිළිතුර වූයේ එය සියයට හැටක් බවත්, නමුත් වෙළඳපොළෙහි කාබනික ආහාරවලට ඇති ඉහළ ඉල්ලුම සහ කාබනික පොහොරට යන පහළ වියදම නිසා ගොවියන්ගේ ආදායම වැඩි වන බවයි. එවිට මම කීවේ කාබනික ආහාරවලට ඇති සාපේක්ෂ වැඩි මිල ප්‍රමාණය දැන් පවත්නා වෙළෙඳපොළ තත්ත්වයන් මතම විනා මුළු කෘෂිකර්මය ම ඒ තත්ත්වයට පත් කළ පසුව බලාපොරොත්තු විය නොහැක්කක් බවයි. එසේම සම්පූර්ණ කෘෂිකර්මය ම කාබනික කළවිට, කාබනික පොහොරවලට ඇති ඉල්ලුම වැඩිවන බැවින් එවිට කාබනික පොහොර මිල අනිවාර්යෙන්ම රසායනික පොහොරවල මිලද ඉක්මවා යන බව මම පැවසුවෙමි.

නමුත් වැදගත්ම ගැටළුව එය නොවේ. නිෂ්පාදනය 40% කින් අඩු වෙනවා යනු සරල දෙයක් නොවේ. ඉතා භයානක දෙයකි. හාල් නිෂ්පාදනයෙන් අප සිටින්නේ 100% තැනය. එනම් හාල් ඉල්ලුමට සරිලන ප්‍රමාණයක්, ඒ පමණක් නිෂ්පාදනය කරන රටක් වශයෙනි. ඒ අනුව හාල් නිෂ්පාදනය 40% කින් අඩු වෙනවා යනු මේ රටේ මිනිසුන් ලක්ෂ අසූවකට තුන් වේලටම සිය ප්‍රධාන අහාරය වන බත අහිමිවීම නොවේදැයි මම චන්න ගෙන් විමසුවෙමි. එනම් ලක්ෂ අසූවක් මිනිසුන්ට තුන්වේලම අහිමි කරන්නක් නොවේ දැයි මම ඇසුවෙමි. ඊට පිළිතුරු දෙන්නට ඔහුට නොහැකි විය. ප්‍රතිඵලය වූයේ ඔබ වහන්සේ කෝපයට පත් වීමත්, නොසන්සුන් වීමත්, එසේම ඊළඟට පැවති කිසිදු එබඳු වැඩසටහනකට මට ආරාධනා නොකිරීමත් ය. කෙසේනමුත් එදා එතැනින් පිටවී එන්නට පෙර, මේ කාබනික ව්‍යාපෘතිය යනු කවදා හෝ ක්‍රියාත්මක කළහොත් මේ රට නිශ්චිතවම සාගතයකට ඇද දමන්නක් බව මා අවසාන වශයෙන් කීවා ඔබවහන්සේට මතක ඇත.

මගේ අනාගත වාඛ්‍යය සත්‍යයක් වෙමින් පැවතීම ගැන මට ඇත්තේ සතුටක් නොව දුකකි. නමුත් පුදුමයට කරුණ වන්නේ ඔබ වහන්සේ ගේ ඒ මහා ව්‍යාපෘතිය මෙබඳු විනාශයක් සහ විහිළුවක් බවට පත්ව තිබියදීත් ඔබ වහන්සේ කිසිදු දුකකින් තොරව ඉතා සැහැල්ලුවෙන් සිටින බව දැනගැනීමට ලැබීම ය.

කර කියා ගැනීමට දෙයක් නොමැතිව, ජීවත් වෙන්නට මගක් නොමැතිව, අසරණ වූ ගොවියෝ කෝපයෙන් සහ වේදනාවෙන් හඬා වැටෙත්දී, ඔබවහන්සේ මොකක්දෝ බෞද්ධ සංගීත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව අහම්බෙන් දුටු වෙමි.

ඔබ වහන්සේ ගේ සංගීත දිවියට සුබ පතමි.

මෙත් සිතින්, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

අනුරුද්ධ ප්‍රදීප් ගේ ෆේස්බුක් ගිනුමෙනි

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found