රේගුවට බදු නොගෙවා නඩුත් දාලා : යුනිලීවර් වැඩක් !

රේගුවට බදු නොගෙවා නඩුත් දාලා : යුනිලීවර් වැඩක් !

මෙරට ප්‍රකට සමාගමක් විසින් රේගු බදු වංචා කර, පසුව එකී බදු මුදල් සහ දඩ ගෙවීමට නියම කෙරුණු විට ශ්‍රී ලංකා රේගුවට එරෙහිව නඩු පැවරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් LNW ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක්ම අනාවරණය කර ඇත.

ඒ අනුව මෙකී සමාගම වන්නේ මෙරට සුප්‍රකට සමාගමක් වන යුනිලීවර් සමාගමයි.

මේ වන විට ලංකා රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඊට අදාළව රාජ්‍ය ආදායම අඩුවීම ප්‍රධානය. ඊට මූලික හේතුවක් ලෙස , ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ , රාජ්‍ය බදු ආදායම් අහිමිකර ගැනීමයි. එහිදී බදු වංචා විශේෂ බව තේරුම් ගන්නට අලුතින් ආර්ථික විද්‍යාව උගතයුතු නැත.

වාර්තා වන ආකාරයට 2018 ඔක්තෝබර් 09 සිට 2019 අප්‍රේල් 04 දක්වා කාලය තුළ යුනිලීවර් හී මෙකී ප්‍රශ්නගත සිදුවීම සිදුව ඇත. ඒ සබන් නිෂ්පාදනය කිරීමට යොදන සංඝටකයක් වන palm oil fatty acid ආනයනය කිරීමේදීය.

එකී සංඝටකයට අදාළ HS අංකය වන්නේ 3823.19.20 යි. ඒ ආනයනයේදී 25% ක රේගු බද්දක් ගෙවිය යුතුය. නමුත් අදාළ සංඝටකය, එහි HS අංක 3823.19.90 යටතේ ආනයනය කිරීමට යුනිලීවර් සමාගම කටයුතු කර ඇති අතර ඒ හරහා බදු මුදල් ගෙවීම මඟහැර ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකා රේගුව මේ බව අනාවරණය කරගෙන රුපියල් මිලියන 570ක බදු මුදල සහ අදාළ දඩය ගෙවීමට දැනුම්දි ඇත. ඒ අනුව රුපියල් බිලියනයක පමණ මුදලක් ගෙවීමට එකී සමාගමට සිදුව තිබේ.

නමුත් මෙහිදී යුනිලීවර් සමාගම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවට එරෙහිව අභියාචනාධිකරණයට නඩුවක් යොමුකිරීම ය. අදාළ නඩුව අංක 19/2021 ලෙස පවරා ඇති අතර ඒ 2021.01.11 වනදා ය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව යි. නමුත් මේ වන විට නඩුව ගොඩින් සමතයට පත්කර ගැනීමට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ පිටුපස සිටින්නේ පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද ප්‍රබල සම්බන්ධතා ඇති බලවතුන් පිරිසකි. ඥාතීන් ආණ්ඩුව, විපක්ෂය යන දෙපාර්ෂවයම බවට පත්වීම මේ සමයේ විලාසිතාවක් වී ඇති අතර ඒ හරහා කොයි ආණ්ඩුව බලයට ආවත් තමන්ට අවශ්‍ය ලෙස වැඩකර ගැනීමේ හපනුන් බවට පත්ව ඇත.

මේවා මාරවැඩ ලෙස පෙනීගියත් මේ මාරවැඩ නිසා අමාරුවේ වැටෙන්නේ රටේ ආර්ථිකය ය. එනිසා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න යන ජනාධිපති , පසුගිය අඩුපාඩු හඳුනාගෙන ඉදිරිය නිවැරදි කරගන්නට සූදානම් වෙන ජනාධිපති මේවත් සොයා බැලුවොත් හොඳය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න