Language Switcher

V2025

විශ්වාසභංගය දිනන්නේ කවුද: දීප්ති කියයි (වීඩියෝ)

මේ අවස්ථාවේදී නිල හා නිල නොවන බුද්ධි ඔත්තු සේවා( Intelligence Service) ඉතාම හොඳින් කළමණාකරනය කරන නායකයා අප්‍රේල් 04 දා විශ්වාස භංග සිද්ධියෙන් දිනන බව දේශපාලන විචාරයකු වන දීප්ති කුමාර ගුණරත්න මහතා පවසයි.

'වොයිස් ටියුබ්'  වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු එබව සඳහන් කර ඇත.

එම වෙබ් අඩවියේ  ප්‍රශ්න කිරීම් හමුවේ ගුණරත්න මහතා මෙසේ සඳහන් කර තිබේ.

විශ්වාසභංගය හමුවේ, ශ්‍රීලනිපය සහ එජාපය දෙකට බෙදිලා. මේ 2015 ජනවාරි ජනවරමේ විකෘතියක්ද? ජනවරමට පසු දේශපාලනයේ විකෘතියක්ද?

 දීප්ති :

යහපාලන ආණ්ඩුව ලංකාවේ සමාජයට ගෙනාපු තේමාව මොකක්ද කියන එක වැදගත්. ඒ ගෙනාපු තේමාව තමයි මහින්ද රාජපක්ෂ රෙජීමේ යුගයේදී ලංකාවේ සමාජයේ සමාජ දේශපාලනය ඒ කියන්නේ ගෙවල් ඇතුලේ නෙවෙයි, හැංගිච්ච තැන්වල නෙවෙයි, එන්ජීඕ ඇතුලෙ නෙවෙයි, එලියට බැහැල දේශපාලනය කරන්න බැහැ ඒ කාලේ.

මිනිස්සුන්ට තමන්ට ඕනෙ දේවල් ලියන්න බැහැ කතාකරන්න බැහැ, රැස්වීම් සංවිධානය කරන්න බැහැ, පෙළපාලි යන්න බැහැ, මම හිතනවා හැමෝටම මතක ඇති කියලා. මේ කිසිම දෙයක් ඒ කාලේ කරන්න බැහැ.

 ''ඔන්න ඕකටයි යහපාලනය කියන්නේ''

එතකොට මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ නිදහස ලැබුනා. ඔන්න ඕකටයි යහපාලනය කියන්නේ. වෙන මොනවටත් නෙවෙයි.

යහපාලනයේ මිනිසුන්ට බාහිර සමායේ අතපය කඩල නැහැ, සුදුවෑන්වලින් ගෙනිහිල්ලත් නැහැ, ජිනීවා දුවගෙන ගියෙත් නැහැ කවුරුවත්, එතකොට යහපාලන ආණ්ඩුව ලබාදුන්නේ මේ සමාජික දේශපාලනික නිදහස. මිනිස්සුන්ට තමන්ගේ මතය ප්‍රසිද්ධියේ පාරට බැහැල කියන්න, මාධ්‍යයට කියන්න නිදහස. ඒක මහින්ද රාජපක්ෂටත් දැන් ලැබිල තියෙනවා. අද මහින්ද රාජපක්ෂ ඇතුලු ඒ කණ්ඩායමටත් ලැබිල තියෙන්නෙත් ඒ නිදහසම තමයි.

ප්‍රශ්නයක් තියෙනවා. මේ නිදහස ලැබුනම මොකද වෙන්නේ? අන්න ඒක තමයි යහපාලන ආණ්ඩුවටත් තේරෙන්නේ නැත්තේ.

අපි මෙහෙම කියමු, දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ආව වෙලාවේ ඊට ඉස්සෙල්ලා තිබුණේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව. ඒ කාලෙත් තිබුනෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ වගේ හරිම මර්ධනකාරී විශ්වයක්.

ඒ කාලේ යුක්තිය පත්තෙරේ තිබුණා, රාවය පත්තරේ තිබුණා, සිවිල් සමාජය මේ වගේම සෑහෙන්න උද්ඝෝෂණ කරා, මානව හිමිකම් උල්ලංගනවලට විරුද්ධව ජිනීවා ගියා, ඒ වගේ දේවල් වුණා.

පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආවම මොකද වුණේ. මේ පත්තර ටික නැතුව ගියා. මේ මතවාද නැතුව ගියා. ඒ මොකද දන්නවද එහෙම වෙන්නේ, ඒ සමාජයේ මර්දනයක් තියෙනකොට තමයි ඒ මර්දනයට විරුද්ධව මිනිස්සු පෙළගැහෙන්නේ. මර්දනයක් නැතිවුනාම වෙන්නේ කරන්න දෙයක් නැතිවෙලායනවා. ඒ කියන්නේ ඊටපස්සේ මිනිස්සු දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. දැන් මේ ඇවිත් තියෙන්නේ අන්න ඒ අරාජික තත්වය කියලයි මම කියන්නේ.

අන්න ඒ නිසා යහපාලන ආණ්ඩුව දැනගන්න ඕනේ මෙතනින් පස්සේ යම් කිසි වැඩසටහනක් මිනිස්සුන්ට දෙන්න ඕනේ කියලා. නැත්නම් වෙන්නේ මේක ආරාජික වෙවී මේක මංකොල්ල කනවා තව ටික දවසකින් මේ විදිහට ගියොත්


මහින්ද මොකද කළේ කියලා හැමෝම දන්නවා. ඒත් මහින්ද සහය දුන්නු පොහොට්ටුව බහුතරය අර්බුදයට යවලා?

මෙහෙම දෙයක් තියෙනවා. එහෙම කළේ කවුද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මහජනයාට. මට අනුව පොහොට්ටුව ඉස්සරහට ගෙනාවේ හරි එහෙම නැත්නම් පොහොට්ටු මතවාදය, ඕක හරියටම කියනවානම් ජාතිවාදය තීරණාත්මකව දේශපාලනයට පාවිච්චි කිරීම.

ඒ කියන්නේ පොහොට්ටුව හරි ලස්සනයිනේ පන්සලට මල් වට්ටි අරන් යනවා වගේ. එතකොට අර ඔලුව වෙන පැත්තකට යනවා වගේ. මේකෙන් කියන්නේ ඇත්තටම සිංහල ජාතිවාදය පාවිච්චි කරල කොහොමද චන්දෙ දිනන්නේ කියන එක.

සිංහල ජාතිවාදය කියනකොට අර චරිත හේරත් මහත්තයා කියනවා වගේ විධග්දයි. අර නිකන් ජරාවිදිහට මහසෝන් අනම් මනම් වගේ ඒ විදිහට නෙවෙයි. මේක නිකන් ටොපියක් දාල, ඒ‍කෙ උඩින් අයිසින් ටිකක් දාල ෆැබ් එකේ කේක් එකක් වගේ. එහෙම ලස්සනට හදන එකක් මේක.

එ‍තකොට අන්න ඒ මතවාදය කවුද ඉස්සරහට ගෙනාවේ. මහජනයාද? නැහැ මාධ්‍යය. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එකයි කිවුවේ මාධ්‍යවලට නියාමනයක් අවශ්‍යයි. මොකද අපේ රට වාර්ගික වශයෙන් බෙදිල විශාල යුද්ධයක් තිබුන රටක් ඒ නිසා මම නම් මාධ්‍ය නියාමනයක් යෝජනා කරා දිගින් දිගටම.

ලංකාවේ මාධ්‍යවල මම මේ ඊයේ පෙරේදා ජාතික පත්තරේක දැක්ක ‘මහසෝන් බලකාය දේශපාලනයට’ කියලා. දැන් ඒ මිනිස්සු යහපත් මනුස්සයෙක් දේශපාලනයට එනවනම් පත්තරේ ඉස්සරහම දායිද හොඳ ප්‍රතිපත්ති ටිකක් අරගෙන එහෙම එන කෙනෙක් ගැන, මෙන්න මේ අහවලා එනවා දේශපාලනයට කියලා.

නැහැ. ඒ පත්තර බලන්නේ අර මිනිස්සුන්ගේ ජාගර සිත විකුණගෙන කන්න. මාධ්‍ය කියන්නේ මිනිස්සුන්ගේ යටි සිතේ සිටින යක්ෂයා එලියට අරගෙන, අරන් ඒ යක්ෂයා එක්ක සෙල්ලම් කරල පත්තර විකුණගන්න මාධ්‍යවල රේටින් වැඩි කරගන්න.

එතකොට මම කියන්නේ පැහැදිළිවම මහජනයාගේ මතයක් නෙවෙයි මේක මට අනුව. මාධ්‍ය විසින් බැලුමවගේ පුම්බපු අදහසක් මේක ඒ අදහසට මුවාවෙලා රාජපක්ෂ රෙජිමය සෙල්ලම දදා ඉන්නවා. ඇත්තටම බහුතරය මේකට බයවෙන්න ඕනෙ නැහැ.

මේ වෙනකොට ජවිපෙ විශ්වාසභංගයට සහය දෙන බව සඳහන් කරනවා. ඒත් කුමාර් පාර්ශවය (පෙසප) ඒ ස්ථාවරය විවේචනය කරනවා. මේ හමුවේ වමත් අර්බුදයට ගිහින්ද? වමට කරන්න වැඩක් නැද්ද?

දීප්ති :

නැහැ වම අර්බුදයට වඩා මම හිතන්නේ ඒ දෙගොල්ලො අර්බුදයකට යනවා. සාමාන්‍යයෙන් මෙතන මහජනයා දන්නේ නැති දෙයක් තමයි තිරයෙන් පිටුපස කුමාර් පාර්ශවය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශාල පුද්ගලික මත ගැටුම් සහ එකිනෙකා පාවාදීම්, ඒ කියන්නේ වමේ ලංකාවේ මේ වෙලාවේ ජාතික ගීතය තමයි ‘පාවාදීම’ කියන එක.

අන්න ඒ පාවාදීම කියන එක දිගින් දිගටම ගිහිල්ලා ඒ දොගොල්ලො පල්ලෙහා අන්ඩර්ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මරා ගන්නවා. එතකොට ඒ මරාගැනීමේ සත්‍යය තමයි මේ ඇවිත් තියෙන්නේ එක කට්ටියක් මේකට කැමැති අනික් කට්ටිය අකමැති කියන එක.

මම හිතන්නේ ඔය සමහර වෙබ් අඩවි එහෙම බැලුවම ඔයාලට තේරෙයි ඒකේ ඇත්ත ප්‍රශ්න ටික වෙන තැනක තියෙනවා. ඒ ප්‍රශ්නටික තමයි මේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ. මම කියන්නේ මේක වමේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පාර්ශව දෙක අතර තියෙන පුද්ගලික ප්‍රශ්නයක්.

සිරිසේන ජනාධිපතිව සීරියස් ගන්න ඕනෙද? විශ්වාසභංගය ජයගන්න ‘ජනාධිපති සිතන්නේ කෙසේදැයි තක්සේරු කරගැනීම වැදගත්’ බව චරිත හේරත් කියනවා. මේ ගැන මොකද කියන්නේ? බලය සම්බන්ධ කාරණයේදී සිරිසේන ජනාධිපතිව සීරියස් ගන්න ඕනෙද?

දීප්ති :

ඒක මෙහෙමයි චරිත හේරත් මහත්මයා කියනවා ජනාධිපතිගේ මනස කියවීම වැදගත් කියලා. ඒක ඇත්ත. ඒ වගේම ජයදේව උයන්ගොඩ මහත්තයත්, මම දැක්ක රාවය පත්තරේට ලියල තියෙනවා. මේකෙදී ජනාධිපතිවරාගේ මනස කියවන්ට පුලුවන්නම් හොඳයි කියලා. ඒත් හරි අමාරු වැඩක් කෙනෙක්ගෙ ආශාව කියවනවා කියන එක.

ඉතින් මට කියන්න තියෙන්නේ මේකයි. මේකෙ බලවේග තුනයි. මේ විශ්වාසභංගය හරහා බලවේග තුනක් ගැටෙනවා. පසමිතුරුතාවයන් තුනක් හමුවෙනවා අපිට. එකක් අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම, අනික් පැත්තෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම, තව පැත්තකින් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම.

මෙන්න මේ පසමිතුරුතාවයන් තුන මෙතන හම්බවෙලා තියෙන්නේ. එතකොට මේ පසමිතුරුතාවයන් තුන කොහොමද කළමණාකරනය කරන්නේ කියන එක මිනිස් බුද්ධියකට හැර වෙන කිසිම දේකට කරන්න බැහැ මේ වෙලාවේ මම කියන්නේ. මේ පන්සල්වල ගිහින් පූජා තියලා දේවාල වල බිලි පූජා තියලා ඒවා කරන්න බැහැ.

සහ අනිත් එක මේක ඉතාම පැහැදිළි මේ බලවේග තුන අතර මේ යන ගැටුම, මේ වෙලාවේ සමාජයේ තියෙන සාමාජීය බලවේග, මිනිස්සු හැසිරෙන විදිය, මිනිසුන්ට තියෙන ඇත්ත ප්‍රශ්න වල අතර කිසිම සම්බන්ධයක් නැහැ.

මේ වෙලාවේ මට අනුව. අරවා වෙනමම තියෙනවා, මේ තට්ටුව වෙනමම ප්‍රශ්නයක්. මේක ඇත්තටම පාර්ලිමේන්තු දේශපාලනය පිළිබඳ අර්බුදයක්, පාර්ලිමේන්තුව කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ, ඉතින් එහෙම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් රටේ අනාගතය පිළිබඳ, රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක්, රටේ සමාජ ආර්ථික ගැටලු විසඳීම පිළිබඳ ප්‍රශ්නයක්, රටේ ජාතික ගැටළුවට ස්ථීරසාර විසඳුමක් පිළිබඳ ප්‍රශ්නයක්, ධනේශ්වර ක්‍රමය වර්ධනයත් එක්ක මාධ්‍යවල මේ හැසිරීම පිළිබඳ පාලනයක් අවශ්‍ය ප්‍රශ්නයක්, එවැනි ප්‍රශ්නවලට උත්තර මේවයින් ලැබෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස.

විශ්වාසභංගය කවුරු දිනයිද?

දීප්ති :

ඔය ප්‍රශ්නයට මම ටිකක් අමුතු කතාවක් කියන්නම් චරිත හේරත්ට වෙනස්ව, මම හිතන්නේ මේ වෙලාවේ නිල හා නිල නොවන බුද්ධි ඔත්තු සේවා.( Intelligence Service) ඉතාම හොඳින් කළමණාකරනය කරන නායකයා තමයි අප්‍රෙල් 04 දිනන්නේ.

(සටහන - සුජීවා)