Language Switcher

V2025

අරගලයට දින 50 යි : සාධාරණ සමාජයෙන් නිවේදනයක් !

කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දා දින 50ක් සම්පූර්ණ කරන බවත් ඊට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි .

හිටපු කතානායක කරූ ජයසූරිය මේ බව සඳහන් කරන්නේ ගෝඨාගෝගම අරගලයට දින 50ක් පිරීම නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් ය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

 දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය !

කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දා දින 50ක් සම්පූර්ණ කරයි.

එය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටය.

මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනා ගත නොහැකි වූ කරුණු රැසක් අද වන විට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී තිබේ.

එමෙන්ම මේ රට තුළ සිදු විය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදට ද ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටී. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතුය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද ඔවුන් හා අත්වැල් බැඳගනිමින් අපගේ ගෞරවය මේ අවස්ථාවේදී සනිටුහන් කරනු කැමැත්තෙමු.

නිවහල්, නිදහස් හා සාමකාමි රටක් උදෙසා මේ රටේ යුක්ති ගරුක ජනතාව තුළ ඇති අපේක්ෂාවන් මෙකී අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව විසින් තව තවත් උද්දීපනය කරමින් සිටීම අතිශයින්ම අගය කළ යුතුය. එමෙන්ම ඔවුන්ගේ නිර්ව්‍යාජ හඬට රජය නොපමාවම කන්දිය යුතුය.

ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකර ගනිමින් මේ රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව තිබේ. දින 50ක් පුරා අඛණ්ඩව සාමකාමී අරගලයක යෙදෙන එකී සෑම පාර්ශ්වයකටම අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන සියලු ජයග්‍රහණ දිනා ගැනීම උදෙසා නොපමාවම හැකියාව ලැබේවායැයි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය