Language Switcher

V2025

චම්පික අද හෝ හෙට සජබෙන් ගැලවී ස්වාධීන වෙයි !

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ඊට අදාල ලිපිය අද පස්වරුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත බාරදීමට නියමිතව තිබේ.

එසේම පාර්ලිමේන්තුවේදී ස්වාධීනවන චම්පික රණවක මන්ත්‍රීවරයා අද (07) පස්වරුවේ දී හෝ හෙට (08) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ සමගි ජනබලවේගය පක්ෂය විසින් චම්පික රණවක මන්ත්‍රීවරයා පක්ෂයේ නියෝජ්‍ය නායක කිරීමට යෝජනා කර ඇති පසුබිමක මෙසේ ස්වාධීන වීමට තීරණය කර තිබීමයි .

මේ අතර ලංකාසර වාර්තා කර ඇත්තේ , චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ මේ ස්වාධීන වීමත් සමග සමගි ජනබලවේගයේ තවත් පිරිසක් ස්වාධීන වීමටත්, තවත් පිරිසක් ආණ්ඩුව සමග ඍජුවම එකතු වීමටත් කටයුතු කරමින් සිටින බවයි .

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ චම්පික රණවක මන්ත්‍රීවරයා ආණ්ඩුව සමග එක්වන්නේ නම් මුදල් ඇමති ධුරය හෝ ඒ හා සමාන වෙනත් ඇමති ධුරයක් ලබා දීමට ආණ්ඩුව සූදානමින් සිටි බවයි .

එහෙත් ආණ්ඩුව විසින් කර ඇති මෙම යෝජනාව භාර නොගන්නා බව ප්‍රකාශ කර ඇති චම්පික රණවක මන්ත්‍රීවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති වැඩපිළිවෙළට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ . ඒ අනුව ඔහු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස දිගටම විපක්ෂයේ සිටිනු ඇත.

තවද රට මුහුණපා ඇති බලශක්ති අර්බුදය විසඳීමට අදාල යෝජනාවලියක් මේ සතිය තුළ රජයට ඉදිරිපත් කිරීමට ද චම්පික රණවක තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ ඉවත්ව යාම සමග සමගි ජනබලවේගය පක්ෂයේ ඉදිරි පෙළ තවදුරටත් දුර්වල වනු ඇති බවයි.

මේ වන විට එම පක්ෂයේ ජනප්‍රිය ඉදිරිපෙළ තරුණ නායකයකු වු හරීන් ප්‍රනාන්දු ද ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගෙන තිබේ . ඔහු සමග පැමිණි මනූෂ නානායක්කාර ද මේ වන විට ආණ්ඩුවේ අමත්‍යවරයෙකි.

එසේම සජබ පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාද මේ වන විට අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග සාකච්ඡා කරමින් සිටින බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර යමින් තිබේ.