විදුලි බිල : පියවර දෙකකින් ඉහළට !

විදුලි බිල : පියවර දෙකකින් ඉහළට !

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.

ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බවද ප්‍රකාශ කළේය.

“ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට සහ අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.

විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු කෝටි 65000 ක ට (බිලියන 650 ) ආසන්න ප්‍රමාණයක් පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7500 ක් ( බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.

ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 5000 ක (බිලියන 50 ) ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

-ලංකාදීප

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න