Language Switcher

V2025

එදා රනිල් කියූ වැල් පාලමේ අද එල්ලෙන පිරිස් රටේ ආර්ථික ව්‍යුහය ගැන දැනුවත් ද කියලත්  සැකයි ! 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කියූ වැල් පාලමේ කතාව අද සිහිපත් කරන පිරිස ඉතිහාසයේ පාලම් බිඳ දැමූවන් බවත් ඔවුන් ආර්ථිකය ගැන විවිධ කතා කියන්නේ රටේ ආර්ථික ව්‍යුහය ගැන නිසි දැනුවත් භාවයක් ඇතුවද යන්න ප්‍රශ්නයක් බවත් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක අවධාරණය කරයි.

එදා ඉන්දීය විරෝධයක සිට රට ඇවිලවූ පාර්ශ්ව අද වන විට ඉන්දියාව තම මිතුරෙකු බව පවසමින් ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ස්ථිර පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජනාධිපතිවරයා සූදානම් වෙනවා. එයින් සියලු දෙනාට එකහා සමානව වැඩ කළ හැකි, ස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා.

ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් රට වෙනුවෙන් ස්මාර්ට් සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතුයි. රට ඉදිරියට ගෙන යාමට නම් ආර්ථික නවීකරණය ද අත්‍යවශ්‍යයි. එසේම ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතුයි. ඒ සඳහා බැංකුවකින් ණයක් ලබාගැනීම ඉතා අපහසු තත්ත්වයක්ව තිබීම වෙනස් කළ යුතුයි.

මෙහිදී භාණ්ඩ මිල ගැනත් අදහසක් දැක්වීමක් අවශ්‍යයි . මගේ යෝජනාව නම් දැන් ආනයන සඳහා තිබෙන ලයිෂන් කෝටා ක්‍රමය වෙනුවට තරගකාරී ලෙස භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතුයි. එවිට අල්ලස් සහ දූෂණ නවත්වා ගැනීමට පුළුවන් .

මෙහිදී මාධ්‍යවේදියෙකු, හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත ප්‍රශ්නයක් යොමුකරමින්, ජනාධිපතිවරයා ගෙන ඒමට නියමිත නව පනත මඟින් මූල්‍ය බලය එක් තැනකට ගැනීමේ සූදානමක් ගැන විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යවරයා මූල්‍ය බලය කොහොමටත් පාර්ලිමේන්තුව සතු බවයි. ඒ අනුව සියලු මුදල් අනුමත කිරීම සිදුකරන්නේ පාර්ලිමේන්තුව මඟින් වන නිසා විවිධ පාර්ශ්ව සඳහන් කරන ආකාරයේ ගැටලුවක් ඇති නොවන බවද රවී කරුණානායක මහතා පැවසූ අතර තවදුරටත් මෙසේද සඳහන් කළේය.

ආයෝජකයන් පැමිණ තම ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගන්නට යොමුවුවත්, නිලධාරීන් ෆයිල් මාරු කරමින් තීරණයක් ගැනීම සඳහා විශාල කාලයක් ගන්නවා. මේ පනත හරහා ඒ බාධක ද නැති වෙයි.

ඒ වගේම අපි එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවා. සියලු පාර්ශ්ව වල සහය ඒ සඳහා ගත ‍යුතුව තිබෙනවා. කොහොම නමුත් මේ වෙලාව අපේක්ෂකයා කවුද කිය කියා යන්න අවස්ථාව නෙවෙයි. අපිට කරන්න වැඩ රැසක් තිබෙනවා. ඒ නිසා ස්ථිරව කියන්න තියෙන්නේ අපේ නිර්පාක්ෂික අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. සියලු පක්ෂ වලට පුළුවන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වෙන්න.

එක පුද්ගලයෙකුට හැකි වුණා වැටී තිබු රට මේ ආකාරයට යළි ගොඩනගන්න . ඒ සාර්ථකත්වය ඉදිරියට ගෙන යාමට සහය දක්වන ලෙස අප සියලු පාර්ශ්ව වෙත ආරාධනා කරනවා.

මේ වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා . මේ රට නියෝජනය කරමින් කණ්ඩායමක් ඊට අදාළ සාකච්ඡා සඳහා සහභාගි ව සිටිනවා. එහි ප්‍රතිඵල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවට දැනුම්දීමෙන් අනතුරුව අපට ණය බරතාවයකින් තොරව ඉදිරියට යාමට පුළුවන් වෙනවා.

මෙහිදී අවධානය යොමුකළ යුතු වැදගත් කාරණය වන්නේ ආර්ථිකයක් ගොඩනැගීමට අවුරුදු ගාණක් යනවා. නමුත් සතියෙන් දෙකෙන් ආර්ථිකය නැතිබංග කළ හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කියූ වැල් පාලමේ කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන සම්බන්ධ කර විවිධ කතා කියන පාර්ශ්ව මේ කතා කියන්නේ රටේ ආර්ථික ව්‍යුහය ගැන නිසි දැනුවත් භාවයක් ඇතුවද යන්න ප්‍රශ්නයක්. සැබවින්ම ඔවුන් පාලම් කඩපු පිරිසක්. එදා ඉන්දීය විරෝධයක සිට රට ඇවිලවූ මේ පාර්ශ්ව අද ඉන්දියාව හොඳ මිතුරෙක් කියන තැනට ප්‍රතිපත්තිය මාරු කරගෙන. එහෙම කරන්න වුණේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය එදා වැරදි නිසයි. ඒ අනුව අපේ ප්‍රතිපත්තිය නිවැරදි බව තහවුරුව තිබෙනවා .

පසුගිය සමයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට මුහුණ දුන්නා. දැන් මේ පත්තු වෙලා තියෙන්නේ දේශපාලන බිම් බෝම්බයක්. ඔය දේවල් සිදුවුණේ දේශපාලන වාසි තකා කළ කී දේවල් නිසයි.