ඔබම ඔබේ පියයුරු ආරක්ෂාව සලසාගන්න.
ස්වයං පියයුරු පරීක්ෂාව මේ විදිහට කරගන්න
කාන්තාවන් අතර ඇති පිළිකා සැළකිල්ලට ගත් කල ලෝකයේ බහුලතම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරද පළමු තැනට පත්ව ඇති පිළිකාව වන්නේද පියයුරු පිළිකාවමයි. එපමණක් නොව ලංකාවේ කාන්තාවන් සහ පිරිමින් අතර ඇති සියලූ පිළිකා එක්ව ගත් කළද සුලබතම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි.
ශ්‍රී ලංකාවේ හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන් වාර්තා වන්නේ වැඩි වශයෙන්ම අවුරුදු 45-69 අතර වයස් කාණ්ඩයේදීය. නමුත් අඩු වයස් කණ්ඩායම් අතරද පියයුරු පිළිකා වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
පියයුරු පිළිකා සම්බන්ධයෙන් ඇති අවදානම සහ එය හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍ය ශ්‍රිනි විලත්ගමුව මහත්මිය මෙසේ අදහස් පළ කළාය.
පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ
පියයුරු පිළිකාවක් මුල් අවස්ථාවේ දී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. පිළිකාව ක්‍රම ක්‍රමයෙන් විශාල වී පැතිර යාමේදී පහත සඳහන් රෝග ලක්ෂණ දැකිය හැක.
1.පියයුරු වල හැඩයේ වෙනස්වීමක්
2. පියයුරෙහි වල ගැසීමක්
3. ගැටිත්තක්
4. පියයුරෙහි සමෙහි වෙනස් වීමක් (දොඩම් ලෙල්ලක මතුපිට වැනි රූපාකාරයක්. දදයක් හෝ ඝනවීමක්)
5. තනපුඩුවේ ගිලියාමක් හෝ වෙනසක්
6. තනපුඩුවේ කිරි නොවන වෙනත් දියර පිටවීමක්
7. පියයුරුවල අසාමාන්‍ය වේදනාව
පියයුරු පිළිකාවක් සෑදීමේ වැඩි අවදානම කාටද?
● පවුලේ මව හෝ සොයුරියකට පියයුරු පිළිකා සෑදී ඇති කාන්තාවන්
● පියයුරු රෝගය සම්බන්ධ පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන්
● දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමා වූ කාන්තාවන් (අවු. 35ට පසු පළමු දරු උපත සිදුවී ඇත්නම්)
● කලින් වැඩිවිය පැමිණීම (අවු. 11ට පෙර)
● ප්‍රමාදව ආර්තවහරණය සිදුවීම (අවු. 55ට පසු)
● වෛද්‍ය උපදෙසින් තොරව ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු පෙතිවලට
● දිගුකාලීනව නොකඩවා නිරාවරණය වූ කාන්තාවන්
පියයුරු පිළිකා කලින් හඳුනාගන්නේ මෙහෙමයි
මේ සඳහා ක්‍රම තුනක් භාවිත කෙරේ.
1.ස්වයං පියයුරු පරීක්ෂාව
2.සායනික පියයුරු පරීක්ෂාව
3.මැමෝග්‍රැෆි පරීක්ෂාව (Mammography) /අති ධ්වනි තරංග පරීක්‍ෂණය (Ultra sound scan)
මෙම ක්‍රම පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම සඳහා ඉතා වැදගත් වන නමුත් ඉතාමත් කලාතුරකින් මෙම ක්‍රම මගින් වුවත් පියයුරු පිළිකාවක් මුල් අවස්ථාවේදී හඳුනාගැනීමට නොහැකි වීමටද ඉඩ ඇත.
self_breast_examination
ස්වයං පියයුරු පරීක්‍ෂාවක පියවර
●ආවරණ ස්ථානයක් (උදා ඃ කාමරයක් ) යොදා ගන්න
●ඔබගේ උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපතක් ඉදිරිපස සිට ගන්න
පහත සදහන් ඉරියව්වලදී දක්වා ඇති අසාමාන්‍යතා ඇත්දැයි පරීක්ෂා කර බලන්න
● අත්දෙක දෙපස තබා සෘජුව සිටගන්න/අත්දෙක හිසට උඩින් ඔසවන්න/ අත්දෙක ඉඟමත තබා තද කරගන්න
● ඇඳක හෝ ඝන මතූපිටක නිදාගෙන පියයුරු පරීක්ෂාව කළ හැක. පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට යටින් ඝන රෙද්දක් නවා තැබීමෙන් පියයුරු පරීක්ෂාව පහසු වෙයි.
● අතේ ඇඟිලි එක්කොට ඇඟිලි වල ඇතූල් පැත්තෙන් පියයුරු හොදින් පරීක්ෂා කරමින් පියයුරෙහි ගැටිති, සමට යටින් ඝන වීමක් හෝ එහාට මෙහාට නොයන තද ගතියක්
● වම් අතින් දකූණු පියයුර සහ දකූණු කිහිල්ලද දකූණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ලද පරීක්ෂා කරන්න.
● පියයුරෙහි සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිටපැත්තේ සිට ඔරලෝසුවේ කටු යන අතට අත තද කරමින් පියයුරෙහි ගැටිත්තක්, වේදනාවක් හෝ ඝන වීමක් ඇත්දැයි බලන්න.
● මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලෙන් ඇරියෝලාව (තනපුඩුව වටා ඇති තද පැහැති කොටස) මිරිකා තනපුඩුවෙන් කිරි නොවන ඝ්‍රාවයක් පිටවන්නේදැයි බලන්න.
ස්වයං පියයුරු පරීක්‍ෂාව මගින් පියයුරු පිළිකා හඳුනාගන්නවාට වඩා වසර දෙකකට පමණ ඉක්මණින් මැමෝග්‍රෆි පරීක්‍ෂාව මගින් හඳුනාගත හැක. අවුරුදු 50ට වැඩි/අවදානම් සාධක සහිත කාන්තාවන් මේ සඳහා යොමු කෙරෙයි
උපුටා ගැනීමDoctormagazine.lk

