අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය : බුද්ධි තොරතුරුවලට වැඩ කරාද විමර්ශනයට කමිටුවක් !

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය : බුද්ධි තොරතුරුවලට වැඩ කරාද විමර්ශනයට කමිටුවක් !

2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ. එන්. කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්. ඒ. එන්. නිෂේන් මහතා පත් කර තිබේ.

මෙම විමර්ශන කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාරතාංජලී මනෝහරන් මහත්මිය කටයුතු කරයි.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් මූලාශ්‍ර මඟින් ලද පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු මත රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින්, ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳ මෙන්ම එසේ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් ඒවා ප්‍රමාණවත්ද යන්න කමිටුව මඟින් විමර්ශනය කිරීමට නියමිතය.

එමෙන්ම වව්නතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මාස හතරක කාලයක් විශ්වාස කළේ ඇයි ද යන්න සහ ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මොනවාද යන්න මෙම කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතය.

2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාර විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද 2021 ජනවාරි 31 වැනි දිනැති අවසන් වාර්තාව මඟින් 2019 අප්‍රේල් 21 වැනි දින එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට, ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කර ඇත.

තවද, 2018 නොවැම්බර් 30 වැනි දින හෝ ඒ ආසන්න කාලසීමාවේදී වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සිය අනාවරණයන් ලිඛිතව දැනුම්දී ඇති අතර එයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සම්බන්ධයක් තිබෙන බවට විශ්වාස කෙරිණි.

නමුත් එම සිද්ධියෙන් මාස හතරකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවකට ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) මීට සම්බන්ධ බව ආනාවරණය කර ගන්නා ලදී.

2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාවේ 2021 ජනවාරි 31 දිනැති අවසන් වාර්තාව ඇතුළත් සංයුක්ත තැටිය ද විමර්ශන කමිටු වෙත ලබා දී ඇති අතර අදාළ කරුණු සම්බන්ධයෙන් අදාළ ඕනෑම නිලධාරීන්ගෙන් විමසීමට සහ ලේඛන පරීක්ෂා කිරීමට ද ජනාධිපතිවරයා විසින් කමිටුවට බලය පවරා තිබේ.

ඒ අනුව 2024 සැප්තැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර අදාළ කමිටුව වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට ද උපදෙස් දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න