Language Switcher

V2025

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ‘ඉමාම් කමිටු වාර්තාව’ ජනගත කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලිම සඳහා පත් කෙරුණු ‘ඉමාම් කමිටු වාර්තාව’ අද (2024 ඔක්තෝම්බර් 28) දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් ජනගත කරන ලදී.

මතු දැක්වෙන්නේ අදාළ වාර්තාව ජනගත කරන අවස්ථාවේ දී උදය ගම්මන්පිල කළ සම්පූර්ණ කතාව ය.

 විජිත හේරත් ඇමතිතුමාටත් චෝදනා තියෙනවා

‘‘අද දින අපි ජනගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ දෙදහස් විසිතුනේ සැප්තැම්බර් පස්වන දින එක්සත් රාජධානියේ චැනල් ෆෝ නාලිකාව විසින් විකාශනය කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ වැඩසටහන පිළිබඳ විමර්ශනයට පත් කරපු ඉමාම් කමිටු වාර්තාවයි. මෙම වැඩසටහනෙන් මතු වුණු කාරණාවල ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා විමර්ශන කමිටුවක් පත් කළ යුතුයි කියලා වඩාත් හඬ නැගුවේ කාදිනල්තුමා. ඒ වගේම මේ කමිටුව පත් කරපු අවස්ථාවේ මාලිමා නායකයින් හෝ කාදිනල්තුමන් හෝ වෙනත් පාර්ශවයක් හෝ මේ කමිටු සාමාජිකයන්ගේ හැකියාව හෝ අපක්ෂපාතිත්වය කිසිම අයුරකින් අභියෝගයට ලක් කරේ නෑ කියන එක විශේෂයෙන් කියන්න ඕනි.

පසුගිය විසි එක්වන සඳුදා අපි ජනගත කරපු වාර්තාව සකස් කරපු අල්විස් කමිටුවේ සභාපතිතුමියට විෂමාචාර චෝදනා තිබුණා කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකු ගැන චෝදනා නගන්න පුළුවන්. විජිත හේරත් ඇමතිතුමාටත් බීමතින් රිය පදවලා අනතුරක් කිරීම පිළිබඳ චෝදනාවක් තිබෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් හැදුවේ කොහොමද කියල චෝදනාවක් තිබෙනවා. චෝදනා නම් කාට නගන්න බැරිද? මේ විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වී නෑ. පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කරා. ඒ නිසා හෙට කැබිනට් මාධ්‍ය හමුවේ දී අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයට වැරදිකරු වුණු බවට එතුමාට තිබෙන සාක්ෂි ජනගත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 කමිටුව ආගම් තුන ම නියෝජනය කළේ ඇයි...?

කමිටුව සොයා ගත්තු කරුණුවලට ප්‍රතිචාර දැක්වීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනෙ කියල අපි කල්පනා කරා. මේ විමර්ශන කමිටුවේ සභාපති ධූරය දැරුවේ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයෙකු වන එස්. අයි. ඉමාම් මැතිතුමා. දෙවන සාමාජිකයා වෙන්නේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් වයිස් මාර්ෂල් ජයලත් වීරක්කොඩි මැතිතුමා. හමුදා ක්‍රියාකාරිත්වය පිළිබඳ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ඇති නිසා හමුදා නිලධාරියෙකු කමිටුවේ සිටීම අත්‍යාවශ්‍ය යි. තුන්වන සාමාජිකයා වෙන්නේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු වන හර්ෂ සෝසා මැතිතුමා.

මේ තුන්දෙනා කීර්තිමත් පුද්ගලයින් වෙනවා පමණක් නොවෙයි කිසිවෙකු මේ අය පත් කරන අවස්ථාවේ ඒ පත්වීම් අභියෝගයට ලක් කරේ නෑ. ඒ වගේම කමිටු සභාපති විනිසුරු ඉමාම් මහතා ඉස්ලාම් බැතිමතෙක්. හිටපු ගුවන් හමුදාපති වීරක්කොඩි මහතා බෞද්ධයෙක්. ඒ වගේම ජනාධිපති නීතිඥ සෝසා මහතා කතෝලිකයෙක්. බෞද්ධ නායකයෙකු බලයට ගේන්න ඉස්ලාම් තරුණයන් පිරිසක් කතෝලික පල්ලිවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා කියන චෝදනාව චැනල් ෆෝ නාලිකාව නගන නිසා මේ කමිටුවේ ඒ ආගම තුනම නියෝජනය කරන අය සාමාජිකයින් කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්න ඇති.

දේශ ප්‍රේමින්ගේ යුතුකම සහ වගකීම

දෙදහස් විසිතුනේ සැප්තැම්බර් පස්වෙනි දා චැනල් ෆෝ නාලිකාව විකාශනය කරපු Sri Lanka’s Easter Bombings –Dispatches කියන වැඩසටහනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ඒමේ අරමුණින් පාස්කු ප්‍රහාරය කරේ අපේ හමුදා බුද්ධි අංශවලින් කියලා බරපතළ චෝදනාවක් නගනවා. චැනල් ෆෝ කියන්නේ ඉතිහාසය පුරාම කොටි ත්‍රස්තවාදයට පක්ෂව කටයුතු කරපු අපේ රටට යුද අපරාධ චෝදනා එල්ල කරන්න පුරෝගාමි කාර්යභාරයක් සිදු කරපු ශ්‍රී ලංකා විරෝධි ස්ථාවරයක දිගට ම හිටිය එක්සත් රාජධානියේ රූපවාහිනි නාලිකාවක්. යුද්ධය අවසන් සමයේ කොටි නායක වේළුපිල්ලේ පිරබාහරන් බේරා ගන්න සටන් විරාමයක් ඉල්ලලා අපේ ආණ්ඩුවට බල කරපු නාලිකාවක්.

ඒ වැඩසටහනේ බුද්ධි නිලධාරින්ට අමතරව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳ බරපතළ චෝදනා ගණනාවක් නගනවා. ඒවා අපට වැඩක් නෑ. ගෝඨාභය ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දුන්නා ම වැරදි තීන්දුවලට එරෙහිව දූෂණයට එරෙහිව අපි සටන් කරා ම එතුමා කරේ මාවත් විමල් වීරවංශ ඇමතිතුමාවත් ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීම; ඊට පස්සේ පොතක් ලියලා අපට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම. ඒ නිසා එතුමා බේරා ගන්න අපට කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒවාට උත්තර දීම එතුමාගේ වැඩක්. නමුත් බුද්ධි අංශවලට පදනම් විරහිත චෝදනා එල්ල වෙනවා නම් ඒවා හෙළිදරව් කිරීම සෑම දේශප්‍රේමියෙකු ම සතු යුතුකමක්; වගකීමක්.

එඩිතර විපක්ෂයක භූමිකාව

ඒ වගේම රටේ ජනාධිපතිවරයා යම් වාර්තාවක් තමන්ට අවාසියි කියලා දැක්කාම ඒක සඟවනවා නම්, ඒ තක්කඩිකම කරන්නේ තමන් පත්වෙලා මාසයක් ගත වෙන්නත් කලින් නම්, ජීවිතය පරදුවට තබා හරි ජනාධිපතිවරයාගේ වංකකම හෙළිදරව් කිරීම සෑම විපක්ෂයේ දේශපාලකයෙකුගේ ම වගකීමක්. ජනාධිපතිගේ සිට කුලියට මඩ ගසන සමාජ මාධ්‍යකරුවන් දක්වා සිටින සියලු ම දෙනාගේ අවලාද විඳිමින් අපහාස දරමින් මේ ඉටු කරන්නේ එඩිතර විපක්ෂයක භූමිකාව. බුද්ධි අංශ කියන්නේ රටක ඇස් සහ කන්. අනතුරක් කලින් දැකලා ආරක්ෂක අංශ ඒ පිළිබඳ දැනුම්වත් කරන්නේ බුද්ධි අංශ. බුද්ධි අංශ විනාශ කරනවා කියන්නේ සියතින් ඇස් අන්ධ කර ගන්නවා කියන එකයි; බුද්ධි අංශ විනාශ කරනවා කියන්නේ සියතින් කන් බිහිරි කර ගන්නවා කියන එකයි.

නාවික හමුදාවේ බුද්ධි බලකායේ තනතුරු එක්දහස් දෙසීයක් තිබුණත් අද ඉන්නේ පන්සිය දහඅටයි. පසුගිය කාලයේ බෙදුම්වාදින්ගේ මනදොළ පුරවන්න බුද්ධි අංශ තළා දැම්ම නිසා බුද්ධි අංශවලට බැඳෙන්න කවුරුවත් කැමැති නෑ. බුද්ධි අංශ දුර්වල නිසා තමයි පාස්කු ප්‍රහාරය ගැන විදේශීය බුද්ධි අංශ කියන තුරු අපේ බුද්ධි අංශ දැනගෙන හිටියේ නැත්තේ; බුද්ධි අංශ දුර්වල නිසා තමයි අරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය විදේශීය බුද්ධි අංශ කියන තුරු අපේ බුද්ධි අංශ දැනගෙන හිටියේ නැත්තේ.

 අසාඩ් මවුලානාගේ චෝදනා

අද මේ විධියට අඩපණ වෙලා තිබෙන බුද්ධි අංශම තමයි එදා දෙදහස් නමයෙ අගොස්තු මස කොටි සංවිධානයේ නායකත්වයට කුමාරන් පද්මනාදන් පත් වෙලා මාස තුනක් ගත වෙන්න කලින් මැලේසියාවටත් හොරෙන් මැලේසියාවේ සිට ලංකාවට කුදලාගෙන ආවේ. මේ අඩපණ වෙලා තිබෙන බුද්ධි අංශම තමයි එදා කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් ගුවන් බෝම්බයකින් මරා දාන්න කාර්යාලය තිබෙන තැන සහ කාර්යාලයේ ඉන්න වෙලාව හරියට ම සොයා ගත්තේ. ඒ නිසා බුද්ධි අංශවලට එල්ල වන පදනම් විරහිත චෝදනා හෙළිදරව් කරලා බුද්ධි අංශ අඩපණ කිරීමට බොරු ගොතන ජාතියේ සතුරන් හෙළිදරව් කිරීම අපේ යුතුකමක්.

මේ චැනල් ෆෝ වැඩසටහනේ දී අසාඩ් මවුලානා කියන පුද්ගලයා බුද්ධි අංශවලට චෝදනා ගණනාවක් නගනවා. ප්‍රධානම චෝදනාව තමයි දෙදහස දහඅටේ පෙබරවාරි මාසයේ දී අපේ බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පුත්තලම වනාතවිල්ලුවෙ දි හසීම් සහරාන් ඇතුළු ත්‍රස්තවාදින් හමු වෙලා පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම පිළිබඳ පැය තුනක් පමණ සාකච්ඡා කරා කියන එක. අසාඩ් මවුලානා කියන විධියට මේ හමුව සංවිධානය කරේ මවුලානා. ඒක පොල් ඉඩමක්. එතැන නිවාසයක් තිබෙනවා. ඒක තමයි සහරාන්ලා පුපුරණ ද්‍රව්‍ය හංගලා තියෙද්දි සීඅයිඩිය විසින් දෙදහස් දහනමයෙ ජනවාරි මාසයේ දී සොයා ගත් වනාතවිල්ලුව පොල් ඉඩම. ඒක සහරාන්ලාට අයිති ඉඩමක් තමයි. ඒ පොල් වත්තේ තිබෙන නිවසේ දී තමයි දෙදහස් දහඅටේ පෙබරවාරි මාසසෙ දි සුරේෂ් සලේ මහතා සහරාන් ඇතුළු ත්‍රස්තවාදින් සමග පාස්කු ප්‍රහාරය සැලසුම් කරා කියන්නේ.

සලේ මැජික්කාරයෙක් ද...?

මේ කමිටුවේ විමර්ශනයෙන් අපූරු දෙයක් හෙළි වෙනවා. මේ ඉඩමේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් අවස්ථාවේ දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ඉන් එක් අයෙක් වන හනීෆා මුෆීස්ගේ සාක්ෂියෙ දි ඔහු කියනවා පොල් ඉඩමේ මේ නිවස ඉදි කරන්නේ දෙදහස් දහඅටේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී කියලා. එහෙම නම් මවුලානා කියන විධියට සුරේෂ් සලේ මහතාට සහරාන් හමු වෙලා සාකච්ඡා කරන්න දෙදහස් දහඅටේ පෙබරවාරි මාසෙ දි මේ පොල් ඉඩමේ ගෙයක් තිබිලා නෑ. මවුලානා කියන්නේ බොරුවක් බව ඒකෙන්ම ඔප්පු වෙනවා.

ඒ වගේම දෙදහස් දහසයේ නොවැම්බර් සිට දෙදහස් දහඅටේ දෙසැම්බර් දක්වා සලේ මහතා රාජකාරි කරන්නේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ. ඔහු ඒ කාලය තුළ ලංකාවට පැමිණ තිබෙන්නේ දෙදහස් දාහතේ නොවැම්බර් මාසයේ දී විතරයි. දෙදහස් දහඅටේ පෙබරවාරි මාසෙ දි ඔහු මැලේසියා තානාපති කාර්යාලයේ වැඩ කරන අතරේ ලංකාවෙත් පෙනී සිටින්න නම් ඔහුට ඔහු වගේම පෙනුම, දැනුම දෙකම තිබෙන නිවුන් සහෝදරයෙක් ඉන්න ඕනි. එහෙම නැතිනම් හාස්කම් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනි. මේ දෙකෙන් එකක් වත් ඔප්පු වෙලා නෑ.

ඒ වගේම 2018 පෙබරවාරි මාසය තුළ දී සහරාන් ඇතුළු කණ්ඩායම නැගෙනහිර පළාතෙන් පිටතට නොගිය බවත් පුත්තලමට කිසිසේත්ම නොගිය බවත් ඔවුන්ගේ දුරකතනවලින් ගත් ඇමතුම් සම්බන්ධ වුණු දුරකතන කුලුණු හරහා ඔප්පු වී තිබෙනවා. එදා අපේ පක්ෂයේ මධුමාධව අරවින්දට මිනුවන්ගොඩ ජාතිවාදී කලහකාරී සිදුවීම් ගැන බොරු චෝදනා ඉදිරිපත් වෙද්දී අපි ඔහුගේ සන්නිවේදන කුලුණු වාර්තා ගරු අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා බොරු චෝදනා බව පෙන්වා දුන්නා.

සැඟවුණ අමුත්තා

මේ කමිටු වාර්තාව අනුව සහරාන්ලාට උදව් කරලා තියෙන්නේ අපේ බුද්ධි අංශ නොවේ. බුද්ධි අංශවලට චෝදනා නගන අසාඩ් මවුලානා. බෝම්බයක් අත්හදා බැලීමේ දී සහරාන්ගේ මල්ලි රිල්වාන් තුවාල ලබනවා. ඔහුට ප්‍රතිකාර කරන්නේ මවුලානා පදිංචි දෙහිවල දී මෙන්ම තමන්ගේ ගම වන මරතමුනෙයි පුද්ගලයෙකු වන සෆ්රාස් කියන වෛද්‍යවරයෙක්. මේ නිසා කමිටුවේ නිගමනය නම් මවුලානාට සහරාන් සමග සම්බන්ධයක් තිබුණා කියන එකයි. ඒ නිසා තමයි මවුලානා ලංකාවෙන් පිටත ජීවත් වෙන්න උත්සාහ කරේ. ඔහු එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්ගේ රැකියාවකුත් ලබා ගත් බව කොමිසමට හෙළි වෙනවා.

ඒ වගේම කමිටුවේ නිගමනය වෙන්නේ ස්විට්සර්ලන්තයේ සරණාගතයෙකු බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න අසාඩ් මවුලානා තමන් උපන් රට අපකීර්තියකට පත් කරන මේ බොරුව චැනල් ෆෝ නාලිකාවේ වැපුරුවා කියල යි. කමිටුවේ විෂය පථය වුණේ චැනල් ෆෝ නාලිකාව ලංකාවේ බුද්ධි අංශවලට නැගූ චෝදනාවල ඇත්ත නැත්ත සෙවීම මිස ලංකාව අපකීර්තියට පත් කරන්න චැනල් ෆෝ නාලිකාවට උදව් කළ පිරිස සොයන්න නොවේ.

මෙම වැඩසටහනේ මුහුණ බොඳ කරලා කටහඬ වෙනස් කරලා බුද්ධි අංශවලට එරෙහිව කතා කරන විශ්‍රාමික ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකු ලෙස තමන්ව හඳුන්වා ගන්න පුද්ගලයෙකු ඉන්නවා. මේ පුද්ගලයා කතා කරන්නේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ දෘෂ්ටිකෝණයෙන්. ඔහුගේ පෙනුම, කටහඬ සහ පාවිච්චි කරපු වචන අනුව මේ අහවලාය කියන අනුමානයක් වැඩසටහන බැලූ අයට තිබුණා. එයා සී අයිඩියේ හිටපු ප්‍රධාන නිලධාරියෙක්.

ප්‍රහාරය පිළිබඳ තොරතුරු කලින්ම ඉන්දියාවට ලැබුණ විදිය

ඒ දේශද්‍රෝහී නිලධාරියාට මේ ආණ්ඩුවෙන් රටේ ඉහළ ම තණතුරක් දී තිබෙනවා. ඒක අනුමානයක් මිස තාක්ෂණය ඔස්සේ තහවුරු කර ගත් කරුණක් නොවන නිසා මම ඒ පුද්ගලයා නම් කිරීම අසාධාරණයි. නමුත් දේශපාලන වගේ ම නිලධාරි ක්ෂේත්‍රවල කිසිම සැකයකින් තොරව ඔය හිටියේ අහවලානෙ කියන කතාව පැතිරුණා. අදත් ඒ කතාව නිලධාරීන් සහ දේශපාලකයන් අතර පැතිරෙනවා. මේ මුහුණ සඟවා ගත් නිලධාරියා කියනවා බුද්ධි අංශ සහ ත්‍රස්තවාදින් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා කියලා. මේකට උත්තරේ සුනන්ද දේශප්‍රිය මහතා මෑතක දී පළ කරපු “පාස්කු ඉරිදා ප්‍රහාරය” නමැති පොතේ විසිතුන විසි හතර පිටුවල තිබෙනවා. ඉන්දීය බුද්ධි අංශ අබු හින්ද් කියන ආරූඩ නමින් මුස්ලිම් අන්තවාදින්ගේ සමාජ ජාල සමූහවලට බුද්ධි නිලධාරියෙකු රිංගවලා රිල්වාන් සමග මිතුරු වෙලා ඔහු හරහා සහරාන් මිතුරු කර ගත් නිසා තමයි අපේ බුද්ධි අංශවලට නොලැබුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු කලින්ම ඉන්දියාවට ලැබුණේ කියන එක එහි සඳහන් වෙනවා.

ඒ වගේම ලංකාවේ බුද්ධි අංශ විසින් අන්තවාදින්ගේ සමූහවලට රිංගවූ ලංකාවේ බුද්ධි නිලධාරින් ඉන්නවා. පොලිසියට වගේ නිල ඇඳුම් ඇඳගෙන ගිහින් බුද්ධි අංශවලට රාජකාරි කරන්න බෑ. ඒ අය කරන්නේ ඔත්තු බලන එක; රහස් සොයන එක. ත්‍රස්තවාදින් අතරෙ දි ත්‍රස්තවාදියෙකු ලෙස හැසිරුණේ නැතිනම් බුද්ධි නිලධාරින්ට රහස් සොයා ගන්න බෑ.

මාලිමාව ජනතාවට කියපු බොරුව...?

මේ වාර්තාවේ දහතුන්වන පිටුවේ කියන විධියට අපේ බුද්ධි අංශ සහරාන් ගැන බුද්ධි වාර්තා දෙසීයකට ආසන්න ගණනක් පොලිසිය ඇතුළු අදාළ බලධාරින්ට ලබා දීලා තිබෙනවා. දෙදහස් දහනමයෙ ජනවාරි පළවෙනිද ඉඳල අප්‍රේල් විස්ස දක්වා පමණක් එවැනි වාර්තා දාහතක් ජාතික බුද්ධි සේවාව විසින් සීඅයිඩියට යවා තිබෙනවා. මෙවැනි වාර්තා සකස් කරන්නේ රහසිගතව අන්තවාදි කණ්ඩායම් තුළට රිංගා ගෙන සිටින බුද්ධි නිලධාරින් දෙන තොරතුරු මත. ඒ අයගේ අනන්‍යතාවය පොලිසියටවත් හෙළි කරන්න බෑ. ඒක මිනීමැරුමකට පාර කැපීමක් විතරක් නොවේ ත්‍රස්තවාදින් පිළිබඳ තොරතුරු ලැබෙන හොඳ ම මාර්ග සදහටම වසා දැමීමක්. මේ කමිටුව විසින් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙන්න එන්න කියලා චැනල් ෆෝ නාලිකාවට වගේ ම මේ චෝදනාව පිළිබඳ විමර්ශනය කරපු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයටත් ආරාධනා කරා. නමුත් ඒ දෙපාර්ශ්වය ම සහභාගි වීම ප්‍රතික්ෂේප කරා.

වැඩසටහන විකාශනය වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය මේ චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරා. ඒ වගේම සුරේෂ් සලේ මහතා චැනල් ෆෝ නාලිකාවට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්න බවටත් තර්ජනය කරා. තමන් ගත් ස්ථාවරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට චැනල් ෆෝ කරේ එම වැඩසටහන වහාම අන්තර්ජාලයෙන් ඉවත් කර ගන්න එක විතරයි.

දැන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ වාර්තාව යටපත් කිරීමට උත්සාහ කරන්නේ ඇයි? මාලිමාව විපක්ෂයේ සිටින කාලෙ දි තමයි මේ වැඩසටහන විකාශනය වුණේ. මේ වැඩසටහනේ අඩංගු කරුණු නිවැරදියි කියන ස්ථාවරයේ ඉඳල තමයි මාලිමාව කටයුතු කරේ; මේ චෝදනා පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන්න ඕනි කියන එක තමයි මාලිමාවේ ස්ථාවරය වුණේ. මේ වාර්තාව ප්‍රසිද්ධ වුණොත් මාලිමාව එදා ජනතාවට කියූ තවත් බොරුවක් හෙළි වෙනවා. ඒ වගේම මව්බිම අපකීර්තියට පත් කරන්න අපේ ජීවිත රකින්න තමන්ගේ ජීවිත පරදුවට තැබූ රණවිරුවන් අපකීර්තියට පත් කරන්න කටයුතු කරපු දේශද්‍රෝහියෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලබා දුන්නා කියන සංවාදය සමාජයේ මතු වෙනවා. ඒ නිසා මහජන මුදලින් සැකසූ වාර්තාවක් මහජනතාව දැන ගැනීම යටපත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. එතුමා විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරන සමයේ මහජන මුදලින් සැකසූ වාර්තාවල අන්තර්ගතය දැන ගන්න මහජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා කියලා කරපු ප්‍රකාශත් අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා. නමුත් ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම ඉටු කිරීම සිතා මතා පැහැර හැරිය නිසා එතුමා සතුව තිබුණු මේ වාර්තා අපට ප්‍රසිද්ධ කරන්න වුණා.

 දේශ ද්‍රෝහී නිලධාරියා කවුද...?

අද පෙරවරු සිට මේ වාර්තාව සියලු ම ඇමුණුම් සමගින් www.udayagammanpila.com යන වෙබ් අඩවියේත් Udaya Prabhath Gammanpila ෆේස්බුක් පිටුවේත් දැක ගන්න පුළුවන්. පසුගිය වාර්තාවේ ඇමුණුම් අපි ඉදිරිපත් කරේ නෑ, මොකද ඒවා ජාතික ආරක්ෂාවට සංවේදි තොරතුරු තිබෙන බැවින් ඒවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා කමිටු සාමාජිකයින් ඉල්ලීමක් කරලා තිබුණු නිසා. මේ වාර්තාවේ කමිටු සාමාජිකයින් එවැනි ඉල්ලීමක් කරලත් නෑ. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇමුණුම්වල ඇත්තෙත් නෑ. ඒ නිසා මෙම වාර්තාව ඇමුණුම් සමග ඉදිරිපත් කරන්න අපි තීරණය කරා.

දැන් අපි මේකට ආණ්ඩුවේ ප්‍රතිචාරය බලමු. ආණ්ඩුව කරන්න ඕනෙ මට මඩ ගහන එකවත් කමිටු සාමාජිකයින්ට මඩ ගහන එකවත් නෙවෙයි; ආණ්ඩුව කරන්න ඕනෙ රට අපකීර්තියට පත් කරන්න මුදලට විකුණුණු දේශද්‍රෝහි විශ්‍රාමික නිලධාරියා කවුද කියන එක වහාම සොයා ගැනීමයි. එයා දැනටමත් ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරනවා නම් වහාම ඔහුව ඉවත් කර දේශද්‍රෝහිත්වයට දඬුවම් කළ යුතුයි. පුළුවන් නම් මේ නිලධාරියා කවුදැයි සොයන ජනාධිපති කමිටුවක් පත් කරන්න කියලා මම ජනාධිපතිතුමාට අභියෝග කරනවා. මේ වාර්තාව සකස් කරේ මම නෙවෙයි; කීර්තිමත් ත්‍රිපුද්ගල කමිටුවක්. වාර්තාවේ දොසක් දකිනවා නම් කරන්න ඕනෙ මට පහර දෙන එක නෙවෙයි, අභියාචානාධිකරණයට ගිහින් මේ වාර්තාවේ නිගමන අහෝසි කර ගැනීමට කටයුතු කිරීමයි.

 අවසාන ඉල්ලීම

අවසාන වශයෙන්, අද විදේශ බුද්ධි අංශ ඔන්න ගහනවා මෙන්න ගහනවා කියන තුරු අපේ බුද්ධි අංශ මුකුත් දන්නේ නෑ. එදා පිටරටට ගිහින් ත්‍රස්තවාදීන් ලංකාවට කුදලාගෙන එන්න බුද්ධි අංශ සමත් වුණා. ඒ සවිමත් බුද්ධි අංශ යළි හදා ගෙන ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ජනාධිපතිතුමන්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දී බුද්ධි අංශ දෙස වෛරී සහගත ලෙස බැලුවා. අපිට එතුමාගේ මානසික තත්වය තේරුම් ගන්න පුළුවන්. එතුමා කලක් මෙරට ආරක්ෂක අංශවලට එරෙහිව අවි දරාගෙන සටන් කරපු කෙනෙක්. නමුත් ජනපතිතුමනි අද ඔබ ආරක්ෂක අංශවලට විරුද්ධව සටන් කරපු පුද්ගලයා නෙවෙයි. අද මෙරට සේනාධිනායකයා ඔබයි. ඒ නිසා බුද්ධි අංශවල රැකියා ස්වභාවය තේරුම් ගෙන බුද්ධි අංශ රැකගැනීමට කටයුතු කිරීම ඔබේ වගකීමක් බවත් එය ඉටු කළ යුතු බවත් මම ගෞරවයෙන් ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.’’