මේ මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණු වේදිකාවේ රැව් පිළිරැව් දෙන වදන් මාලාවක් වන්නේ ‘‘පාර්ලිමේන්තුව ශුද්ධ කරමු’’ යන්න ය.
එම වදන් මාලාවට පසුව වේදිකාව අබියස සිටින ජනතාවට ඇසෙන්නේ ‘‘මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු’’ යන වදන් මාලාව ය.
අසා සිටින පිරිසට නම් මෙය ඉතා ප්‍රිති ජනක මෙන් ම විනෝද ජනක ප්‍රකාශයක් විය හැකි ය. නමුත් මෙම වදන් මාලාව සිහි බුද්දියෙන් කියවන පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මෙහි යටිපෙළ අරුත් ගන්වාගත හැකි ය; එහි බියකරු සහ ම්ලේච්ඡ ස්වභාවය ද හඳුනාගත හැකි ය.
එසේ හඳුනාගත හැකි අය මෙන් ම නොහැකි අය ද වෙති; විශේෂයෙන් ම මාලිමා රැල්ලට හසුව ගසාගෙන යන පිරිසට නම් එහි යටි පෙළ අසු නෙවේ; හසු වුව ද ඔවුන්ට එය වැගත් නොවේ. මන්ද ඔවුන් දැන් පත්ව සිටින්නේ සුනාමියට මොහොතකට පෙර මුහුදු ජලය ඈතට ඇදුණ මොහොතේ මුහුද දෙසට දිව ගිය මිනිසුන් ලෙසිනි. එම පිරිස එසේ වුව ද රටේ බහුතරයක් එසේ නොවන හෙයින් ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු ය.
මෙම කරුණ සම්බන්ධයෙන්: අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු ඩිජීටල් මිඩියා අධ්‍යක්ෂ, ගැස් සිලින්ඩරය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින කේශාල් ජයසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු දැක්වෙන්නේ එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය යි.
ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු ශ්‍රමදානයකට ද? පාර්ලිමේන්තු භූමදානයකට ද?
මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස සලකන පාර්ලිමේන්තුව අන් කවරදාටත් වඩා බරපතළ අනතුරක් වෙත යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය. අධික බලය විසින් දූෂණය වහා ඉහළ යන බව ප්‍රත්‍යක්ෂ කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරක් වෙත තල්ලු කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව ශ්‍රමදානයකින් පිරිසිදු කළ යුතු බවය. එහි අතිශයින්ම බිය ජනක සහ ඛේදනීය තත්වය වන්නේ පාර්ලිමේන්තුවේ සියලු නියෝජිතයන් එම පක්ෂයේ පිරිසගෙන් සමන්විත විය යුතු බවට ඔවුන් ගෙන යන ප්‍රචාරය යි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සියයට පනහ ඉක්මවන නියත බහුතරය ලබා ගැනීමට අසමත් වූ ජාතික ජන බලවේගය, ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔවුන් ලැබූ සුළු බහුතරයෙන් උද්දාමයට පත්ව කරනු ලබන ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුන් තුළ ඇති දුරස්ථ බවය. ඉකුත් ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට ලැබුණේ භාවිත කළ සමස් ඡන්ද ප්‍රමාණයෙන් 42% පමණක් වන අතර එම පක්ෂය අයත් වන්නේ භාවිත කළ ඡන්ද ප්‍රමාණය අතුරෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පිරිස ලෙසට ය. සාතිශය බහුතරයක් සිටින්නේ ජනාධිපති අනුරට ප්‍රති පක්ෂව බව ඔවුන් අවබෝධ කරගත යුතුය.
එවන් තත්ත්වයක සිටින ඔවුන් අද කියා සිටින්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතු බවය. සත්‍ය වශයෙන්ම ඔවුන් සිදු කරන්නට යන්නේ පාර්ලිමේන්තු ශ්‍රමදානයක් සිදු කළ යුතු බවට මුවාවී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරන භූමදානය සිදුකිරීම දැයි යන බරපතළ සැකය මේ වන විට ජනිත වී තිබේ.
ඉකුත් ජනාධිපතිවරණයේදි ඔවුන් ඉල්ලා සිටියේ වසර 76ක සාපය අවසන් කිරිමට ඡන්දය ලබා දෙන ලෙස ය. නමුත් එය රටේ සරල බහුතරය ද එය අනුමත කර නොතිබිණ.
එදා ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවට සමානුපාතික නියෝජනය හඳුන්වා දුන්නේ ද මෙම පාර්ලිමේන්තුව ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට අනුව නියොජනයක් ලබා දිය යුතු නිසා වන අතර ඊට හේතු වූයේ පෙර තිබු සරල බහුතර නියෝජන ක්‍රමයෙන් ආසනය දිනා ගන්නා අපේක්ෂාකයා මන්ත්‍රිවරයා බවට පත්වීම හරහා ගැටලු රැසක් නිර්මාණය වී තිබූ බැවිනි. 1994 සිට ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ලැබුණේ මේ පැවති සාමානුපාතික ඡන්ද ක්‍රමය හේතුවෙනි. එහෙත් ඔවුන්ට අද ඒ සියල්ල අමතක ය.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වීමට නම් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය පැවතීම ද අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනයට සෑම මහජන නියෝජිතයෙකුට ම අවස්ථාවක් තිබිය යුතුය. එය තමන්ට හිතෛෂීවන්ත, තමන්ගේම පිරිසක් පමණක් නියෝජනය කරන ලෙස කවුරුන් හෝ ඉල්ලා සිටින්නේ නම් එය ඒකාධිපති වියරුවකින් කරන ප්‍රකාශයකි. එවන් ඒකාධිපතිවරුවන්ගේ ප්‍රතිවිපාක මේ රට වසර ගණනාවක් තිස්සේ අත්විඳ ඇති බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ.
2022 අර්බුද අවස්ථාවේ දී එවකට පැවති ආණ්ඩු පක්ෂය ඊට මුහුණ දීමට නොහැකිව අසරණ වූ අවස්ථාවේ එම අභියෝගය බාර ගත්තේ එවකට විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඇතැම් විට එදා ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයට ම අනුව යමින් අභියෝගය භාර නොගත් බව ද මේ රටේ ජනතාවට අමතක නැත. ආණ්ඩු පක්ෂයේ සේම විපක්ෂය ද පාර්ලිමේන්තු නියෝජනය තුළ සිටිය යුතු බවත් ඒ දෙපාර්ශවය ම ශක්තිමත්ව පැවතිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සියලු දෙනා ම විශ්වාස කරන කරුණකි.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ඉතිහාසයක් ඇති කණ්ඩායමකට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තමන්ගේ ග්‍රහණයට ගැනීම නම් එකී අරමුණ ඉටු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකු ඉඩ ලබා දෙන්නේ නැත. එදා බෝම්බ ගසා හෝ විනාශ කිරීමට නොහැකිවූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙවර, මැතිවරණයට මුවා වී තමන්ගේ නියෝජිතයින්ගෙන් පමණක් පාර්ලිමේන්තුව පුරවා ඉටුකර ගැනීමට ජනතාව විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගයට අවශ්‍යව ඇත්දැයි යන්න ඔවුන්ගේ හැසිරීම් සහ ප්‍රකාශයන් තුළින් ගම්‍ය වෙමින් පවතී. ආධුනික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් මේ රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව පිරී ගියහොත් එයින් අත්වන අනතුර සහ භයානක ප්‍රතිවිපාක පිළිබඳව නැවත නැවතත් කල්පනා කළ යුතුය.
පසුගිය අර්බුදකාරී මොහොතේ පාර්ලිමේන්තුව තුළ අත්දැකිම් බහුල රනිල් වික්‍රමසිංහ බඳු මන්ත්‍රිවරයෙක් නොසිටියා නම් ඇති වන තත්ත්වය මොනතරම් බිහිසුණු වනු ඇත්දැයි සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවේ. ඉතාමත්ම ජනප්‍රිය සටන් පාඨ ලෙස පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම,උගත් බුද්ධිමත් අයගෙන් පාර්ලිමේන්තුව පිරවීම බඳු ප්‍රකාශ ලාබෙට අලෙවි කළ හැකි වුවත් යථාර්ථයේ දී එය හුදෙක් අමනෝඥ කටයුත්තක් පමණි.
2019 සහ 2020 වසරේ දී වියත් මග හරහා පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනා පාර්ලිමේන්තුව මෙන්ම රට ද බංකොලොත් කළ අයුරු මේ රටේ ජනතාවට අමතක නැත. කණගාටුවට කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ පළමු ඉනිම නිමා කළ පසු එහි දෙවෙනි ඉනිම ජාතික ජන බලවේගය ආරම්භ කොට තිබීමය. එබැවින් එළඹෙන මැතිවරණය තීරණාත්මක වන්නේ තවදුරටත් මේ රට තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගන්නවා ද, නොඑසේනම් ජාතික ජන බලවේගය පවසන පරිදි පාර්ලිමේන්තුව ශ්‍රමදානයක් බවට පත් කිරීමේ වචනයට මුවා වී පාර්ලිමේන්තුව භූමදානය කරනවා ද යන කරුණ සම්බන්ධව තීන්දුවක් ගැනීමට අවස්ථාව සැලසෙන හෙයිනි.
එබැවින් මේ බිහිසුණු තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
(කේශාල් ජයසිංහ)
අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ
හිටපු ඩිජීටල් මිඩියා අධ්‍යක්ෂක
කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක
2024 ඔක්තෝම්බර් 31