ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්

ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව විහාරස්ථාන 2,263ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතය.

කඨින පුජෝත්සව පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බවට විවිධ පාර්ශව මත පළ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක,

“2024 නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසයේ 14 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඒ වගේම පසුගිය දිනවල සමාජයේ කතිකාවතක් තිබුණා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ආශ්‍රිතව කඨින පුජා පිංකම් පැවැත්වෙන නිසා ඡන්ද විමසීමට බාධාවක් බවට යම් යම් සංවිධානවලින් පැමිණිලි සහ යම් අදහස් පළ වෙමින් තිබුණා. ඒ අනුව අපි සියලුම දිස්ත්‍රික්වල තේරීම්භාර නිලධාරීන් මඟින් අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ ගැන කැමැත්ත විමසා සිටියා. විහාරස්ථාන 2,263ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එයින් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු කැමැත්ත පළ කරලා තියෙනවා. කඨින පිංකම් නිසාවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා.”

මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (06) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න