චීන මුල්‍යාධාරයෙන් නිවාස 1996 ව්‍යාපෘතිය ඇරඹෙයි

චීන මුල්‍යාධාරයෙන් නිවාස 1996 ව්‍යාපෘතිය ඇරඹෙයි

කිසිදු ‌භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය වෙනුවෙන් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ අද (27) පැවති උත්සවයට ‍එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ලබා දීමට ද නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපි ස්තූතිවන්ත ‌වෙනවා චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව. නිවසක් කියන්නේ පවුලකට, පුද්ගලයෙක්ට රැකවරණය දෙන තැනක් වගේම පුරවැසියන් හැටියට ලැබිය යුතු හොඳ ජීවිතයකට, ගුණාත්මක ජීවිතයකට, ආරක්ෂාව වෙනුවෙන් තිබිය යුතු තැනක්. නිවසක් විතරක් නෙවෙයි. ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අවශ්‍යතාවයට ලැබෙන අවකාශය ඉතා වැදගත්.

නගරාසන්නව ඉන්න අඩු ආදායම්ලාභීන් ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ වගේම සමහරු නිවසක් නැති නිසා ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගත කරනවා. මේ සියලු දෙනාටම ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය ආදියේ කිසිම වෙනසක් නැතුව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් ලබා දෙන එක රජයේ අරමුණක්. ඒ සඳහා චීන ආණ්ඩුවෙන් අපිට මේ ලැබෙන මුල්‍ය ආධාරය වගේම ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව සිය ස්තුතිය පිරිණමන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi ZhenHong, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, චීන රජයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න