රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන්ට ලාල්කාන්තගෙන් රතු එළියක් !

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන්ට ලාල්කාන්තගෙන් රතු එළියක් !

ජනතාව මෙවර දේශපාලන සුනාමියක් ගෙනා බව ත් ඔවුන්ගේ ඊළඟ සුනාමිය පැමිණෙන්නේ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව බව ත් කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අනතුරු අඟවයි.

බංකොලොත් රට ගොඩනැඟීමට ජනතාව සිය ඡන්දය භාවිත කළා සේ ම රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ද ඊට අවශ්‍ය සහාය ලබා නොදුනහොත් එම ජනතාව ම ඔවුන්ට එරෙහිව නැඟී සිටිනු ඇතැයි ලාල්කාන්ත කීය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, වගකිවයුතු රජයේ ඉහළ නිලධාරීන්ට තම රාජකාරිය මෙන් ම ඔවුන්ගේ වගකීම හා වගවීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බවයි.

දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන් තොර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම පමණක් රටේ දියුණුවට හා අදූෂිත රාජ්‍යයක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන අතර ඊට රාජ්‍ය සේවයේ ද කැපකිරීම, අවංකභාවය හා ඉහළ දායකත්වයක් අවශ්‍ය බව හෙතෙම ප්‍රකාශ කළේය.

මීට පෙර සමාජගතව තිබුණේ රටේ ඉහළ පුටුවේ සිට දේශපාලනයට සම්බන්ධ මහජන නියෝජිතයන් රාජ්‍ය දේපළ, සම්පත් මෙන්ම මහජන ධනය කොල්ල කෑ දූෂිතයන් බව වුවත් එකී වංචා දූෂණ හා අක්‍රමිකතාවලට රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ද සැලකිය යුතු පිරිසක් හවුල් බව සමාජයට ඒත්තු ගැන්වුණේ සුළු ප්‍රමාණයක් බවද ලාල්කාන්ත පෙන්වා දුන්නේය.

බොහෝ රාජ්‍ය ආයතනවල කාර්යයන් පසුගිය කාලවකවානුව පුරා ම ඉතා විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති සේම ඒවා නඩත්තු කිරීමට ද විශාල මුදලක් වැය වී ඇති බව අමාත්‍ය ලාල් කාන්ත පැවසිය.

රට ගොඩනැඟීම, ආයතන ශක්තිමත් කිරීම ඇතුළු කාර්යයන් සඳහා දේශපාලන අධිකාරියේ නායකත්වය ලබාදීමට මහජන නියෝජිතයන් ලෙස ඊට අවශ්‍ය වන යටිතල පහසුකම් සම්පාදනය කරදීමටත් ඊට අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමටත් හැකි නමුත් එය ක්‍රියාත්මක කළ යුත්තේ කවුරු විසින්ද යන්න නිලධාරීන් අවබෝධ කරගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායකද පසුගිය දා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වූ සමුළුවකදී පැවැසුවේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය විය යුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න