අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට බස් හිමියන්ට මාස 03ක්‍

අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට බස් හිමියන්ට මාස 03ක්‍

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  අතර අද (08) පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව හෙතෙම පවසයි.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ රටක මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩයක් බවය.

ඒ අනුව දේශපාලන අතගැසීම්වලින් තොරව මේ වනවිට මාර්ග විනය සකස්කිරීමේ ක්‍රියාවලිය සඳහා පවත්නා නීති උපයෝගී කරගෙන මෙහෙයුම් සිදුකරන බව දැනුම් දී ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම් හේතුවෙන් දිනකට මාරක රිය අනතුරු වාර්තාවීම් 4ක් හෝ 5ක් දක්වා අඩුව ඇති බවත්, අනෙකුත් රිය අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පෙන්වමින් පවසා ඇත.

මෙම සාකච්ඡාවේදී බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ වාහනවල අලංකරණය සඳහා සවිකර ඇති කොටස් ඉවත්කිරීම හෝ එය නීත්‍යානුකූල තත්ත්වයට පත්කරගැනීම සඳහා ලබාදී ඇති සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවයි.

එනිසා මාස තුනක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

ඊට ප්‍රතිචාර ලෙස පොලිස්පතිවරයා දැනුම්දී ඇත්තේ මෙම සවිකිරීම් මගින් රිය අනතුරට තුඩුදෙන හෝ අනතුරකදී රිය අනතුරේ ස්වභාවය වැඩිකරන ආකාරයේ සවිකිරීමේ වේ නම් ඒවා ඉවත්කිරීමට පොලීසිය කටයුතු කරන බවයි.

කෙසේ නමුත් එසේ නොමැති සවිකිරීම් ඒ නම් ඒවා නිත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කිරීම හෝ ඒවා ඉවත්කර නීතියට අනුගත වීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට හැකි බවයි.

මේ අතර මෙම සාකච්ඡාවේදී බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසියේ නිලධාරීන් බස්රථ තුළට නංවා බස්රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම හැකිතාක් සීමාකරන ලෙසයි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න