Language Switcher

V2025

සෙමෙන් සෙමෙන් නමුත් රට නැවත කඩා වැටෙනවා - රෝහිණි කවිරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙස ම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවසන්නී ය.

මන්ත්‍රිවරිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනි.

මන්ත්‍රිවරිය සඳහන් කරන ආකාරයට: 2024 වසරේ දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ජංගම ගිණුමේ ඩොලර් මිලියන 432ක් තිබූ අතිරික්ත මුදල, තුන්වන කාර්තුව වන විට ඩොලර් මිලියන 303 දක්වා පහත බැස තිබේ. ඒ අනුව පහත බැස තිබෙන ප්‍රමාණය ඩොලර් මිලියන 129 කි.

ජංගම ගිණුමේ ශේෂය මෙලෙස පහත වැටීමට මුලික හේතුව ලෙස මන්ත්‍රීවරිය සදහන් කර ඇත්තේ ආණ්ඩුකරණයේ දුර්වලතාව සහ ආර්ථික සමීපව හැසිරවීමට පාලකයින් අසමත්වීම ය.

මන්ත්‍රිවරිය වැඩි දුරටත් සඳහන් කරන්නී: පසුගිය රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී බහුපාර්ශවික ණයකරුවන්ට ගෙවිය යුතු සියලු ණය සහ පොලිය ගෙවූ නමුත් අඛණ්ඩව විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට ද, ජංගම ගිණුවේ ශේෂය ‘ධන’ අගයක පවත්වාගැනීමට සමත් වී තිබේ. නමුදු වත්මන් රජයේ පළමු දින 100 තුළ එම තත්වය ආපසු හැරවී තිබෙන බවයි.

මතු දැක්වෙන්නේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

පුවත්පත් නිවේදනය

විදේශ සංචිත, ජංගම ගිණුමේ ශේෂයත් පහළ වැටිලා, ආර්ථිකය නැවත අර්බුදයක් කරා යනවා

ශ්‍රී ලංකා ජංගම ගිණුමේ 2024 දෙවන කාර්තුවේ ඩොලර් මිලියන 432 ක් වූ අතිරික්ත මුදල, තුන්වන කාර්තුවේ දී ඩොලර් මිලියන 303 දක්වා ඩොලර් මිලියන 129 කින් පහත බැස ඇත.

රටේ ආර්ථික බංකොලොත් භාවයක් ඇතිවූ පසුව ජංගම ගිණුමේ ධන ශේෂයක් පවත්වාගෙන යෑමට පසුගිය රජයට හැකි වූ නමුත්, වත්මන් ආණ්ඩුවේ පළමු මාස තුන ඇතුළත එම මුදල ඩොලර් මිලියන 129කින් පහත වැටී ඇත. ප්‍රාථමික ගිණුමේ මුදල් ඉතිරියක් වන්නේ ආයෝජන, දේශීයව වැය කිරීම සඳහා විදේශ ණය ගැනීම් ආදී මුදල් ලැබීම් හේතුවෙනි. ආණ්ඩුකරණයේ දුර්වලතාව සහ ආර්ථික සමීපව හැසිරවීමට අසමත්වීම ජංගම ගිණුමේ ශේෂය පහත වැටීමට මුලික හේතුවයි.

නිල විදේශ සංචිත පහළට

පසුගිය මාස දෙක තුළ රටේ නිල විදේශ සංචිත ද පහත වැටී ඇත. අනුර කුමා දිසානායක මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පළමු මාසයේ (2024 ඔක්තෝබර්) නිල විදේශීය සංචිතය ඩොලර් මිලියන 6,472ක් විය. එය නොවැම්බර් මස නොවැම්බර් මස ඩො. මි. 6,451 ඩොලර් මිලියන 21කින් අඩු විය. 2024 දෙසැම්බර් 31වන දින වන විට මිලියන 6,091ක් දක්වා, එනම් ඩොලර් මිලියන 360කින් පහත වැටී තිබේ. මාස තුනක් තුළ නිල සංචිත පහත වැටීම ඩොලර් මිලියන 381 කි.

පසුගිය රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී බහුපාර්ශවික ණයකරුවන්ට ගෙවිය යුතු සියලු ණය සහ පොලිය ගෙවූ නමුත් අඛණ්ඩව විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට ද, ජංගම ගිණුවේ ශේෂය ‘ධන’ අගයක පවත්වාගැනීමට සමත් විය. වත්මන් රජයේ පළමු දින 100 තුල එම තත්වය ආපසු හැරවී ඇත.

රජය මුදල් ඉතිරි කරන සමාජයේ සියලු ම ස්ථර වෙත බදු බර පැටවීමට මේ වන විටත් පියවර ගෙන ඇත. ළමා, කාන්තා, තරුණ හා වැඩිහිටි බැංකු ගිණුම් ද ඇතුළුව රටේ බැංකු ගිණුම් මිලියන 65ක් පවතින අතර, ඒවායේ තැන්පතු/ස්ථිර තැන්පතු රු. ට්‍රිලියන 17ක් පවතී. මේ සියලු ගිණුම් ආවරණය වන පරිදි, රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම නිසා මේ සියලු ගිණුම් හරහා ලැබෙන පොලී ආදායම දෙගුණ කර ගැනීමට රජය කටයුතු කර ඇත.

රජය සිය බදු ආදායම වැඩි කර ගැනීමට ජනතාව වෙත පීඩනය එල්ල කරමින් සිටින නමුත්, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අසමත්ව ඇත. මෙම පීඩනය ලබන අප්‍රේල් මස වන විට ඉතා දැඩි ලෙස සමාජයේ සෑම ස්ථිරයක් වෙතම දැනෙනු ඇත.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීණී