Language Switcher

V2025

'ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතුයි' - ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන
අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, අද (12) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමිනි.

ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සිය දේශනය පවත්වනු ලැබීය. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණ.

මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපාය මාර්ග සහ සැලසුම් සංවර්ධනයකෙරෙහි මෙම සමුළුව මඟින් ගාමක බලයක් ලබා දෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් මෙන්ම ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍ය බවද කියා සිටියේය.

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යයකට මෙන්ම කෘතහස්ත ලෝකයකට වැදගත් වන අතර, ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීම මෙන්ම නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩසැලසීමේ වැදගත්කම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.

ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහිතව 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික මූල්‍යකරණයේදී කොන්දේසි දැඩිවීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමග ගෝලීය දැක්ම අතිශයින් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපා ගත හැකි මූල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

රොබෝවරයෙකුගේ භාවිතය හේතුවෙන් රැකියා අහිමි වන මානව සම්පත සවිබල ගැන්වීම වෙනුවෙන් අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා අවස්ථාවන් හඳුනා ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ වෙනුවෙන් ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

‘අප සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු’ යන ආයාචනය බව ජනාධිපති අනුර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේය.

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” යන මාර්ටින් ලූතර් කිං ගේ ප්‍රකාශය උපුටා දැක්වූ ජනාධිපතිවරයා, “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ජනතාවද 2024 වසරේ දී එක් වූ බව පෙන්වා දුන්නේය.

මෙම ඓතිහාසික සමුළුව හමුවේ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” යැයි ලෝක රාජ්‍ය සමුළු නියෝජිතයින්ට ආරාධනා කර සිටියේය.