නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විභාග ක්‍රමය වෙනස් වෙනවාද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විභාග ක්‍රමය වෙනස් වෙනවාද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ, එම ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපන පද්ධතියේ විශාල වෙනසක් සිදු නොවන බවත්, විභාග ක්‍රමය, විෂය නිර්දේශය හා විෂයන් යාවත්කාලීන කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වන බව‍යි.

එමෙන්ම සිසුන්ට නව ලෝකයට සරිලන විෂය මාලාවක් සකස් කර ඇති බවත්, එම ප්‍රතිසංස්කරණ එකවර සිසුන්ට හඳුන්වා දීමට ගියහොත් විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත් ඇය කියා සිටී.

විභාග හෝ විෂයමාලා වෙනස් කළහොත් සිසුන් ඊට සූදානම් වීමට අඩුම වශයෙන් වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බවයි මංජුලා විදානපතිරණ පවසයි.

ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිට ක්‍රමානුකූලව විෂයමාලා යාවත්කාලීන කර සිසුන්ට හඳුන්වා දෙන බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ, දැනට 10, 11, 12 හා 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් අරබයා සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බවයි.

විෂය නිර්දේශ වසර අටකට වරක් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය ඒ අයුරින් ම පවත්වාගෙන යන බව ද ඇය සඳහන් කළාය.

2015දී ඇති කළ ප්‍රතිසංස්කරණ යටතේ 2023දී විෂය නිර්දේශ යාවත්කාලීන කළයුතුව තිබූ නමුත් මේ දක්වා එය සිදුව නැතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතැම් සිසුන්ට වසර දහයකින් වෙනස් නොවූ විෂයයන් තිබෙන බවද පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදී නියාමනය කර 2026දී ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, වත්මන් රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය 2033දී හඳුන්වා දීමේ සූදානමක් තිබෙන බවයි.

එතෙක් පැරණි විෂය මාලා යටතේ සිසුන්ට විභාගවලට මුහුණ දීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න