නව තීරු බදු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ජනපති හමු වෙයි

නව තීරු බදු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ජනපති හමු වෙයි

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව විමසා බැලු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

කමිටුව නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, ලංකා ගාමන්ට් කළමනාකරණ අධ්‍යක්ෂ සයිෆ් ජැෆර්ජි, මිචලින් ලංකා පුද්ගලික සමාගමේ නිලන්ති වැලිවේ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ද සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න