ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය අකුරට වැඩ - 'ගෙදර යැව්' ජ්‍යෙෂ්ඨයින්ට කැඳවීමක් !

ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය අකුරට වැඩ - 'ගෙදර යැව්' ජ්‍යෙෂ්ඨයින්ට කැඳවීමක් !

ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩල (cabin crew) සාමාජිකයන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත විශ්‍රාමිකයින් සේවයට කැඳවීමට ශ්‍රී ලන්කන් පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ආහාර දීමනාව නැවත ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය අප්‍රේල් මාසයේදී මෙම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය දියත් කළ බව සංගමයේ නියෝජිතයකු පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය මේවනවිට සිය සේවා සපයනු ලබන්නේ අඩු කාර්ය මණ්ඩලයක් සමගිනි. ඊට හේතුවී ඇත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලයේ සිටි පළපුරුදු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් පසුගියදා විශ්‍රාම ගන්වනු ලැබීමයි. ඒ, වයස 60ට වැඩි කිසිවකු ආයතනයේ රඳවා නොගන්නා බවට දැනුම් දෙමින් එම විශ්‍රාම ගැන්වීම සිදුකර ඇත.

තම සේවා වයස් සීමාව දීර්ඝ කර ගැනීමට ඔවුන් ආයතනයේ කළමනාකාරිත්වය සමග දිගින් දිගටම සාකච්ජා කලද එය පලරහිත ව ඇත. එම තත්වය තුල එම පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කරමින් පසුගිය (2024) දෙසැම්බර් 12 දා ලිඛිත ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.

විශ්‍රාම යාමට ආසන්නව සිටි එම සේවකයින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු ලිපියේ මෙසේ සඳහන්ව තිබේ.

ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලයේ ( Cabin Crew ) විශ්‍රාමික වයස දීර්ඝ කර ගැනීම.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගෞරවනීය තලයකට ඔසඳා තබන්නට දශක ගණනාවක් තිස්සේ කැප වූ සේවක සමුහයක් වන අප, ඔබේ කාරුණික අවධානය සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමු.

පාරාදීසයක රසය Taste of Paradise අපගේ ගුවන් සේවයේ තේමා පාඨයයි. මේ තේමා පාඨයට ජීවය දෙමින්, මගී සුවපහසුව සහ මගී ආරක්ෂාව තහවුරු කරන්නේ අප සේවක පිරිසයි. ශ්‍රී ලංකන් ගුවන් යානාවකට ගොඩවදින, සියළුම තරාතිරමේ යාත්‍රිකයින්, උණුසුම් ආගන්තුක සත්කාරයෙන් ආකර්ශනය කරන්නේ මේ සුවිශේෂ සේවක පිරිසයි. ශ්‍රී ලංකා දේශයේත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේත් සන්නාම තානාපතිවරුන් ලෙස පෙරමුණ ගන්නේ මේ සුවිශේෂී ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලයයි.

 වර්ථමාන ගෝලීය ප්‍රවණතා හඳුනාගත් බොහෝ ජාත්‍යන්තර ගුවන් සමාගම්, වඩාත් උත්කෘෂ්ට ප්‍රතිලාභ ලබාගන්නා අටියෙන්, විශේෂඥ දැනුමින් හා පළපුරුද්දෙන් පරිපූර්ණ ගුවන් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවා කාලය දීර්ඝ කරයි. මේ ප්‍රවණතාවයේ පිහිටමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමද, සිය ගුවන් නියමුවන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වාත්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තම සේවකයින්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වාත් දීර්ඝ කරමින් පූර්වාදර්ශයක් සපයා තිබීම අපගේ ප්‍රශංසාවට හේතු වෙයි.

මෙම ලිපිය ඔබ වෙත යොමු කරන අප, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, සාම්ප්‍රදායික විශ්‍රාම වයස වන, වසර 60 ආසන්නයට පැමිණ සිටින්නෝ පිරිසක් වෙමු. එසේ, ජ්‍යෙෂ්ඨ පුරුවැසි කඩ ඉමට ආසන්නයේ සිටියද, අප බහුතරය ඉතා විශිෂ්ට සෞඛ්‍ය තත්ත්වයේ පසුවන්නෝ වෙමු. අපගේ යෞවනය සහ වැඩිහිටි ජීවිතය, ගුවන් සේවයේ උන්නතිය වෙනුවෙනුත්, සමාගමේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත්, අත්‍යන්තයෙන් කැප කළ පිරිසක් වෙමු.

අපගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම මගින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට, සිය මෙහෙයුම් හැකියාවන් ප්‍රවර්ධනය කරගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස මෙරට ඔසවා තැබීමේ කාර්යයටත් ඉමහත් පිටුබලයක් වන්නට හැකි වෙනවා නොඅනුමානයි.

වර්ථමාන ශ්‍රී ලංකා රජය, සංචාරක ව්‍යාපාරයේ ක්ෂණික වර්ධනයක් තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තිරසාර වැඩ පිළිවෙලකට එළඹ තිබීම, අපගේ ඉමහත් ප්‍රසාදයට හේතු වෙයි. ලොව පුරා සංචාරකයින් ශ්‍රී ලංකාවට සැපත් වන විට ඔවුන් ම මුලින්ම ආකර්ශණය කරන්නේ අපගේ ගුවන්සේවා කාර්ය මණ්ඩලයයි. ඒ අතරින් ජ්‍යෙෂ්ඨයින් වන අපගේ පළපුරුද්ද හා කැපවීම අපගේ දේශයේ ප්‍රතිරූපය ඉහල දැමීමේ කාර්ය වෙනුවෙන් කළ මෙහෙය අප්‍රමාණය. අපට සේවා දිගුවක් පිරිනමා, ශ්‍රී ලංකන් ගුවන් සේවය තුල අප රඳවා තබා ගැනීම, සංචාරක ව්‍යාපාරය නංවාලීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කරන විශිෂ්ට ආයෝජනයක් වෙනවා නිසැකයි.

අප ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැටුප, පවතින ව්‍යුහය තුලම ස්ථානගත වෙන නිසා සමාගමට අමතර පිරිවැයක් දරන්නට සිදු නොවෙයි. තරුණ කාර්ය මණ්ඩලයට අපගේ උපදේශනය සහ මගපෙන්වීම මහත් අස්වැසිලක් වෙන අතර, සමාගම කෙරේ පක්ෂපාතිත්වය සහ සංවිධාන ශක්තිය වැඩි කරයි.

එමිරේට්ස්, සිංගප්පූර් එයාර්ලයින්ස්, කටාර් සහ එටි හැඩ් වැනි ජාත්‍යන්තරව වැජඹෙන ගුවන් සමාගම්, අපගේ පළපුරුදු වෘත්තිකයන් ඉහල වැටුප් ගෙවමින් ඔවුන්ගේ සේවාවන්ට අනුයුක්ත කරගන්නා වග නොරහසක්. ගුවන් යානා සත්කාරක කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් සහ අනෙකුත් සියළුම ආකාරයේ පෙරටුගාමී කාර්ය මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රම බලකාය තුල රඳවා තබා ගැනීම, සමාගමේ සාර්ථකත්වයට මෙන්ම, ආගන්තුක සත්කාරයේ ප්‍රමුඛයා ලෙස, ජාතියේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහාත් ප්‍රයෝජනවත් වෙයි.

මෙම කාලීන යෝජනාව සලකා බලා, අපට සාර්ථක පිළිතුරක් ලබාදෙනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න