පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා එලෙස අදාළ වාර්තාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ, 2019 වසරේ සැප්තැම්බර් 22 වැනිදායි.
ඒ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කොමිසමට සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත්විය.
එහි අවසන් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දුන්නේ, 2021 වසරේ පෙබරවාරී පළමු වැනිදායි.
එහෙත්, එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් කෙරුණේ නැත.
ඒ අනුව ඉදිරියේදී අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව ද, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.
මෙරට ප්‍රධාන පෙළේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙටට (21) වසර 6 කි.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම, ශැන්ග්‍රිලා, කින්ස්බරි හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට එලෙස බෝම්බ ප්‍රහාර එල්ල විය.
මරාගෙන මැරෙන තවත් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවුයේ දෙමටගොඩ සහ දෙහිවලදීයී.
ඉන්, අහිමි වූ ජීවිත සංඛ්‍යාව, 272 කි.
තවත් 500 කට ආසන්න පිරිසකට එහිදී තුවාල සිදුවිය.
ජනාධිපති අනුරගෙන් සහතිකයක්
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරුණා බවත් ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කර හෙට (21) උදෑසන 8.45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දී සිටියි.