සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් දිවයිනට රැගෙනවිත් තිබේ.

ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි ඔහු, පසුගියදා බෙලරූස් රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ ය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම ඔහු රැගෙන ආවේ බෙලරූස් රාජ්‍යයේ සිටයි.

කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් යන සංවිධානාත්මක අපරාධකරුවන් සමග කටයුතු කර ඇති ඔහු පසුව ලොකු පැටී නමැති අපරාධ කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.

  • 2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
  • එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
  • 2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
  • 2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

  • 2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
  • 2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
  • 2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
  • 2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
  • 2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න