බස් අනතුරින් තුවාල ලැබූවන් බැලීමට අගමැතිනිය රෝහලට යයි

බස් අනතුරින් තුවාල ලැබූවන් බැලීමට අගමැතිනිය රෝහලට යයි

ඊයේ(11) අළුයම කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල සිදු වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීමට ඊයේ(11) පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් වෙත පැමිණියාය.

එහිදී අග්‍රාමාත්‍යවරිය දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳවත්, ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළාය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසීය.

මෙය ඉතාම බරපතල ඛේදවාචකයක්. මේ වගේ දේවල් දරාගන්න අමාරුයි. දරුවෝ, දෙමව්පියෝ හා නෑදෑ හිත මිතුරෝ අහිමි වෙලා තියෙනවා. අපේ රටේ දිනකට විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේවා වළක්වන්න අපේ ප්‍රවාහන ඇමතිතුමා විශාල උත්සාහයක් ගන්නවා.

මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා දුෂ්කරතා මධ්‍යයේ වුවද අපේ වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්වීම ගැන. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී සියලුම වැඩ පැත්තකින් තියලා රෝගීන්ව රෝහල් වෙත රැගෙන එන්න ක්‍රියා කරපු, ඒ මානුෂීය මෙහෙයුම දියත් කරපු සියලු දෙනාව මතක් කරන්න කැමතියි. මේක තමයි අපේ රටේ තියෙන විශේෂත්වය. මෙවැනි මානුෂීය ගුණාංග අපි රැකගත යුතුයි. රජයේ පාර්ශවයෙන් සිදු විය යුතු උපරිම දේ සිදු කරන්න අපි මැදිහත් වන බවත් මේ වෙලාවේ මම කියන්න කැමතියි.

මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන  එක් වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න