පදනම් විරහිත ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයෙන් කැනඩාවට දැඩි විරෝධය

පදනම් විරහිත ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයෙන් කැනඩාවට දැඩි විරෝධය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් අද(14) එම අමාත්‍යංශයේ දී සිදුවිය.

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.

එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ය.

ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුකළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදුකර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී මෙම නාමය නැවත තහවුරු කරන ලදී.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇත.

බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබිණි.

මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇති කරන්නක් බවට ශ්‍රී ලංකාව සලකයි.

එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න