රට පුරා PCR පරීක්ෂණ......

රට පුරා PCR පරීක්ෂණ......

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  ප්‍රකාශ කළේය.

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බියවිය යුතු නැතැත් එය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අනිල් ජාසිංහ,

"අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුයේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා. ආසියාවේ කොවිඩ් වැඩිවීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කරන එක වැඩි කරා. කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් භාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක් එක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිසාව හැදුණොත් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඒක අනිත් අයට හොඳයි."

ගෙවුණු ආසන්න කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් ඉහළයාමක් පෙන්නුම් කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙලෙස කොවිඩ් සුලබ ව්‍යාප්තියක් වාර්තාවන්නේ මධ්‍යධරණී රටවල, අග්නිදිග ආසියානු රටවල සහ බටහිර පැසිෆික් කලාපීය රටවලිනි.

ඒ අනුව JN 1, LF 7 සහ NB 1.8.1 වැනි කොවිඩ් උප ප්‍රභේද මේ වනවිට රටවල් රැසකින් වාර්තා වී තිබේ.

එලෙස ආසාදිතයින් බහුලව වාර්තාවන රටවල් අතරට ඉන්දියාව ද අයත්ය.

LF 7 සහ NB 1.8.1 කොවිඩ් උප ප්‍රභේද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින උප ප්‍රභේද වශයෙන් සැලකේ.

මෙවන් පසුබිමක ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් අවධානය යොමුකර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න