යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට නියෝග

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  අද(30) දින නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක  නඩුවට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්  අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලැයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ, සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් අවශ්‍ය බවයි.

ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නඩුව ජුලි මස 11වැනි කැඳවීමට දින නියම කළේය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න