"Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025" නැරඹීමට ජනපති එක් වෙයි

"Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025" නැරඹීමට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය.

ප්‍රදර්ශන කුටි වෙත යමින් ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය.

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන  ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ  ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා  ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

702b88b5 48d1 4877 b450 03d1f7b7f656 large

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න