ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා , ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 – 243 වර්ගයයේ පුළුල් බද සහිත ( Wide Body ) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) උදෑසන සම්ප්‍රාප්ත විය .

මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය කරන ෂටරූ( Chateauroux ) ගුවන් තොටුපොළේ සිට පැය 11 ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග  විසින් පදවා ගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය දක්වා තිබුණි .

මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසුව , පානදුර , මොරටුව ඔස්සේ , එම ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් දැක බලා ගැනීම සදහා අඩි 1,000 ක පමණ උසකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන් යානය උදෑසන 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමෙන් පසුව , ජල ආචාර ( Water Salute ) පවත්වා , පිළිගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත , රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද පිළිගනු ලැබීය.

මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර , ඒවා අතරින් 10 ක් පුළුල් බද සහිත ගුවන් යානා වන අතර , ඉතිරි 13 පටු බද සහිත ( Narrow Body ) ගුවන් යානා වන අතර , තවත් පුළුල් බද සහිත ගුවන් යානා දෙකක් මිළදී ගැනීම සදහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ  මෙම යානය පිළිගැනීමේ උත්සවයේ දී අනාවරණය කළේය .

ඒ අනුව  ඒ.- 330 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන (Economy Class ) 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන ( Business Class )18 කින් සමන්විත වේ .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් හැංගරය වෙත පැමිණීමෙන් පසුව , සර්ව ආගමික ආශීර්වාද කිරීම සදහා ආගමික පූජකවරුන් ගුවන් යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කළහ .

මෙම නව ගුවන් යානය පැය 04 කට වඩා කාළය වැය වන ඕස්ට්‍රේලියාව , ලන්ඩන් , පැරිස් , ෆෑන්ක්ෆර්ට් , මැදපෙරදිග චීනය යන ගමනාන්ත වෙත යොමු කිරීමට නියමිතය .

මෙම ගුවන් යානය පිළිගැනීමට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සග ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම යන සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න