මන්නාරමට නව සුළං විදුලි බලාගාර දෙකක්

මන්නාරමට නව සුළං විදුලි බලාගාර දෙකක්

ලංකාව පුනර්ජනනීය බලශක්ති විභවය ඉහළින්ම පවතින රටක් වන අතර මේ වන විට ලෝකය ම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමු වී ඇති බවත්, ලෝකය ම පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය වන කාලයක සොබා දහම අපේ රටට තෑගි දී තිබෙන: හිරු එළිය, සුළඟ උපරිම අයුරින් භාවිතයට ගෙන රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මන්නාරම් ප්‍රදේශයේ යෝජිත සහ දැනට ක්‍රියාත්මක සුළං විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල චාරිකාවක යෙදුණු අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි...

''විශේෂයෙන් ම මේ මන්නාරම කලාපයේ සුළං විදුලිබලය නිපදවා ගැනීමේ හැකියාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නත්, ඒ සඳහා වන ආයෝජන, නව තාක්ෂණය භාවිතය දිරිමත් කරමින් අපේ රටේ බලශක්ති අභියෝග ජයගන්න අපි බලයට පත්වෙන්නත් කලිං හදපු සැලසුමට අපි ක්‍රියාත්මක වෙනවා.''

මෙම සංචාරයේ දී අමාත්‍යවරයා, දැනට ටෙන්ඩර්පත් කැඳවා ඇති මුල්ලිකුලම මෙගාවොට් සියයක ධාරිතාවයක් සහිත යෝජිත සුළං විදුලි බලාගාරයට වෙන්කළ ප්‍රදේශය ද, දැනට ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක තම්බපවණි සුළං විදුලි බලාගාරයත් නිරීක්ෂණය කළ අතර, එහි ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක ද නියැළුණේ ය. ඒමෙන් ම එම පරිශ්‍රයට යාබදව ඉදිකිරීමට නියමිත, නව රජය විසින් ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 4.65ක අවම මිලකට මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද සහ ළඟදී ම ඉදි කිරීමට නියමිත මෙගාවොට් 50ක ධාරිතාව සහිත Hayleys Fentons සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත ප්‍රදේශය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙහි දී මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති පූජ්‍ය එස් මාකස් පියතුමා ප්‍රමුඛ එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග ඔවුන්ගේ ඉල්ලීම්, යෝජනා, පිළිබඳව මෙන්ම මන්නාරම ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

(සටහන - ශාන් මොහොමඩ්)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න