සබරගමු සරසවි සිසුවා මියගියේ නවකවදය නිසා බව හෙළිවෙයි

සබරගමු සරසවි සිසුවා මියගියේ නවකවදය නිසා බව හෙළිවෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවදය හේතුවෙ​න් බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තා වී ඇති බවද සදහන් වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබු අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකව​ද පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශද සටහන් කරගනු ලැබූ අතර ඒ අනුව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවද​ය බව​යි.

එමෙන්​ම අදාළ සිසුවා විශාදය රෝගයෙන් පෙළී නොමැති බවත් අනාවරණය වී ඇති බ​ව වාර්තා වේ.

තව​ද සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකව​ද සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත් පැවසේ.

එමෙන්ම නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකව​ද සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇති අතර ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.

කෙසේ නමු​ත් අදාළ සිද්ධිවලට චෝදනා ලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවන අතර නවකව​ද සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරථකන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න