වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය

වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය

වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතය.

මෙහිදී අවධාරණය කෙරුණේ වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවය. එමෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවය. විශේෂයෙන් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගල්ල  අදහස් දක්වමින්, රිලවුන් සම්බන්ධයෙන් වසර පහළොවකට අධික කාලයක් කරන ලද අධ්‍යයන මත පදනම්ව, මෙම ගැටලුවට විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සාර්ථක විසඳුම් ලබා දිය හැකි බවත්, සත්ව ගහනය පාලනය කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.සී. මාරසිංහ, මෙම ගැටලුව සඳහා බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව පැවසීය. වන සත්ව සංගණනයෙන් සත්ව ගහනය පිළිබඳ මූලික තොරතුරු ලබා ගැනීමට හැකි වීම මෙහිදී වැදගත් වන බවත්, සමාජමය ආකල්පයන්ගෙන් ඔබ්බට ගොස් මෙම ගැටලුව විද්‍යාත්මකව විසඳිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වනජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීම වැදගත් වන බවද මෙහිදී තීරණය විය.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න