පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කෙරේ

පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කෙරේ

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.

කෙසේ වුවද මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

ඒ අනුව මෙම නව මිල ගණන් එළැඹෙන ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වීමටද නියමිතය.

එසේම පසුගිය මැයි මස 23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් තීරණය කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න