ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන බව වොල්කර් ටර්ක් කියයි

ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන බව වොල්කර් ටර්ක් කියයි

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්  පවසයි.

මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්  අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් තිබෙන නව දේශපාලනික සහ සමාජයීය පරිවර්තනය අගය කළ මහ කොමසාරිස්වරයා, උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තමා මෙරට සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවූ බව සඳහන් කර ඇති වොල්කර් ටර්ක් මහතා, අද රටේ සියලු ජනතාව යහපත් අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු තබා සිටින බව තම විශ්වාසය බවද පෙන්වා දී තිබේ.

අතුරුදන් වූවන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

උතුරේ සහ දකුණේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව එක හා සමාන බවත්, ඔවුන් සියලුදෙනා රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජනතා අපේක්ෂා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අදාළ ආයතන අපොහොසත් වූ බැවින්, අතුරුදන් වූවන්ගේ ගැටලුව විසඳීමට එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  සඳහන් කර ඇත්තේ අතුරුදන් වූවන් පිළිබඳ ඒ අත්දැකීමට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමාට අවබෝධයක් ඇති බවය.

රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව තහවුරු කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තම රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇත.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම මේ අවස්ථාවේදී රජයේ ප්‍රමුඛ අරමුණ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක  පවතින අභියෝග ඉතා හොඳින් අවබෝධ කරගනිමින් එම අරමුණ සඳහා කැපවී සිටින බවත්, එහිදී ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම සැබෑ තත්ත්වය ලෝකය හමුවට ගෙන යමින්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තැබීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න