Language Switcher

V2025

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් මුල්‍ය අනුග්‍රහයෙන් අපේක්ෂා රෝහලට පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්

රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව ප්‍රමාදවීමෙන් ගැටළු ගණනාවක් මතුවන බවත් මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී සිදුවන ප්‍රමාදය අතිශය කණගාටුදායක කරුණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 'ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ' අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමට අද (03) එම රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවයට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවයා...

සමහර රාජ්‍ය ආයතනවල වැඩ අතිශය ප්‍රමාදයි

''රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙනවා. සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60 ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී තිබෙනවා. එය විශාල ගැටලුවක්.

එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාද සිදුවෙනවා. එය ද ඉතා කණගාටුදායක තත්ත්වයක්.

මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී තිබෙනවා. භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි යි. මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනවා.

මින් ඉදිරියට රජය අ‍ලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරනවා. ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි වෙනවා.

මෙරට රෝහල් පද්ධතියට නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05ක්

මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම් 35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයනවා. ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සඳහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි යි. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යනවා.

අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරනවා. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරනවා. එයින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙනවා.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරනවා.

මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරනවා. රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි යම් සංශෝධනවල යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරනවා.''

රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත ය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.

මෙම අවස්ථාවට: අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, ඇතුළුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.

(සටහන - දීප්ති විජේතුංග)