යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යථාර්ථයක් වීමට නම්, ආයතනික පද්ධතියද ශක්තිමත් විය යුතුයි – ජනපති

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යථාර්ථයක්  වීමට නම්, ආයතනික පද්ධතියද ශක්තිමත් විය යුතුයි – ජනපති

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ ප්‍රකාශ කළේ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (08) පැවැති සාකච්ඡාවේදීය.

මෙහිදී, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට රජය සූදානම් බවද ජනාධිතිවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් සමස්ත පද්ධතියම පූර්ණ වෙනසකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක  මෙහිදී පෙන්වා දුන්නේය. එහිදී, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහිද ඉහළ අවධානයක් යොමු විය යුතු බව ජනපතිවරයා විසින් අවධාරණය කරනු ලැබීය. ඒ සඳහා පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව, සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැය මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම, මෙම ක්‍රියාවලියේදී ගුරුවරුන් සහ අධ්‍යාපන පීඨ සිසුන් පිළිබඳවද අවධානය යොමු කිරීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අදහස් හා යෝජනා ලබා ගැනීමටත් සාකච්ඡා විය.

එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු 02ක් පවත්වන ලෙසත්, එමඟින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව  ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න